ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අත් අඩංගුවට

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

එහිදී එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

වෙඩි වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ 42 හැවිරිදි ක්ලබ් වසන්තගේ බිරිඳ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව අසාධ්‍ය වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම, මෙම වෙඩි තැබීමෙන් වම් පාදයට බරපතල තුවාල සිදු වූ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා සහ තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.

ගායන ශිල්පිනී කේ. සුජීවා මේ වන විට ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම, මෙම වෙඩි තැබීමට සැකපිට ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදුන් පුද්ගලයින්ද වන බවයි.

මෙම ප්‍රහාරය, යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබනවා.

ඒ මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබූ ටී. 56 හිස් පතරොම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්ෂර සටහන් කර තිබීම හේතුවෙන්.

KPI යනුවෙන් සටහන් කර ඇත්තේ කංජිපානි ඉම්රාන් යන නමට අයත් අක්ෂර බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

පසුගිය කාලයේ කංජිපානි ඉම්රාන් විසින් මෙරටට රැගෙන එන ලැබූ මත්ද්‍රව්‍ය බොහොමයක එම කෙටි නාමය සඳහන්ව තිබීම එයට එක් හේතුවක්.

එමෙන්ම, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.

ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

එහිදී, “ඩුබායිවලින් ආව කන්ට්‍රැක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එකට අනුව ටැටූ ශොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණා”යැයි ටැටූ ආයතනයේ හිමිකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ රාත්‍රි සමාජශාලා කීපයකම හිමිකරුවකු ලෙස කටයුතු කළ වසන්ත, රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක්.

ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *