කිසිම හේතුවක් මත රවී සෙනෙවිරත්න හෝ ශානි අබේසේකර ඉවත් කරන්නේ නැහැ – ඇමැති විජිත හේරත්__

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව අමාත්‍ය විජිත හේරත් අද ප්‍රකාශ කළේ ය.

එම දෙදෙනා ඉවත් කිරීමට බල කරන පිරිස් එය සිදු කිරීමට උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් බවත්, එවැනි උත්සාහයන්ට රජය කිසිසේත්ම යට නොවන බවත්, රජයේ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් අවධාරණය කළේ ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නව පරීක්ෂණයක් සිදු කිරීමට පෙර ඉහත නිලධාරීන් දෙදෙනා ඉවත් කරන්නේ ද යන්න ප්‍රශ්න කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රමුඛ ජනාධිපති කොමිසම හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව රවී සෙනවිරත්න හෝ ශානි අබේසේකර වගකිව යුතු බවට ප්‍රකාශ වී නොමැති බව ය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් ඔවුන් දෙදෙනාම වරදකරුවන් වී නොමැති බව පැවසූ ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී (ශ්‍රී ලංකා) නිලන්ත ජයවර්ධන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පමණක් එම නඩුවෙන් වරදකරුවන් වූ බව පැවසීය.

කෙසේ වෙතත් නිසි පරීක්ෂණයකින් පසු කිසියම් නිලධාරියෙකු වරදකරු වුවහොත් ඔහුට එරෙහිව පියවර ගැනීමට රජය පසුබට නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *