කුරිරු පාස්කුවට වසර පහයි

ජීවිත 250 කට වැඩි ප්‍රමාණයක් බිලිගත් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර පහක්.

ඒ වෙනුවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථායේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා යැදුම් පා ගමනක් අද පස්වරුවේ ආරම්භ කෙරුණා.

2019 වසරේ අප්‍රෙල් 21 වැනිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන 08කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයින් 250 කට වැඩි පිරිසකට දිවි අහිමි වූ අතර 407 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

ප්‍රහාරය සිදුවී පස් වසරක් සපිරුණත් තවමත් එම ප්‍රහාරයට වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකරගෙන නොමැති අතර වින්දිත ජනතාවටද සාධාරණයක් ඉටුවී නැහැ.

එවන් පසුබිමක පාස්කු ප්‍රහාරයට වසර 5ක් ගත වීම වෙනුවෙන් කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ විශේෂ දිව්‍ය පූජාවක් අද පස්වරුවේ පැවැත්වුණා.

එම දේව මෙහෙයෙන් අනතුරුව එම දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා යැදුම් පා ගමනක් ආරම්භ කෙරුණේ ආගමික පියතුමන්, ප්‍රහාරයෙන් වින්දිත පවුල්වල සාමාජිකයින් සහ කතෝලික ප්‍රජාවගේ සහභාගිත්වයෙන්.

මෙම පාගමන හෙට උදෑසන 7.30 පමණ වන විට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ලඟා වීමට නියමිත අතර ඉන් පසුව සර්ව ආගමික නායකයින්ගේ සහ තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වෙනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිකරමින් හෙට උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වෙන අතර ඉන් අනතුරුව විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙනු ඇති.

හෙට සවස 3.30ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය භූමියේ සිට රදගුරුතුමන් සහ සර්ව ආගමික නායකයින් මෙන්ම ජනතාවගේ සහභාගීත්වයෙන් යාඥාවේ පාගමනක්ද සූදානම් කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස විශ්වාසයේ වීරයින් ලෙස නම් කරන්නැයි එහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත අත්සන් පිටපත් භාරදීමටද නියමිතයි.

මේ අතර දිවයින පුරා කිතුනු දේවස්ථාන වලද හෙට දින පාස්කු ප්‍රහාරයට වසර 5ක් ගත වීම නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු 8ක් මූලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *