කෘත්‍රීම බුද්ධිය පාසල් දරුවන්ට ලැබෙන්නේ මෙහෙමයි

කෘත්‍රීම බුද්ධිය වැඩසටහන පාසල් දරුවන් වෙත රැගෙන යාම සඳහා රුපියල් මිලියන දාහක මුදලක් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බවද පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

උත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහතින්,

අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. මෙම අවස්ථාව රජයේ එක් අපේක්ෂාවක් ඉටුවන අවස්ථාවක් ලෙස මම දකිනවා. අධ්‍යාපනය සම්පූර්ණ වීමට නම් සිසුන්ට විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මන්දපෝෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මුල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළයාමට ආදායම් මට්ටම පමණක් හේතු වී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටත්වන්නේ උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාරවේල මඟහැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මඟහැරී යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත්, කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල තුළ ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් වෙනවා.

නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප නිර්මාණය කළ යුතුතේ 2024ට පමණක් නොව 2030ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක්. එම වැඩකටයුතු දැන් අප කරගෙන යනවා. ගුරුවරු පුහුණු කිරිම, නවීන තාක්ෂණ දැනුම ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී පළමුව පාසල් වල AI සංගම් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ජාතික AI මධ්‍යස්ථානය නීතියෙන් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. මෙම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන දාහක් වෙන් කර තිබෙන බව කිවයුතුයි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන පාසල්වලට පමණක් නොව උසස් පෙළ අධ්‍යාපනය තිබෙන සියලු පාසල්වලට කෘත්‍රීම බුද්ධිය වැඩසටහන හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

අප නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුමද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ද අප වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *