කෘෂි නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය ජනපති ප්‍රධානත්වයෙන්

කෘෂි නවීකරණ වැඩපිලිවෙළට අදාළ රාජ්‍ය ආයතනවල කාර්යාක්ෂමතාව වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ යටතේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රජය මගින් ක්‍රියාවට නංවන කෘෂි නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙරට කෘෂිකර්ම අංශය නවීකරණ කිරීම වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති රාමුව මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවේ ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය ගාමිනී සේනානායක විසින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ව්‍යාපෘති 26ක් තෝරාගෙන ඇති අතර එම නියමු ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා දැනටමත් මුදල් නිදහස් කර ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා.

වගා කටයුතු සඳහා අලුතින් ඉඩම් අක්කර 500,000 ක් නිදහස් කිරීම මෙන්ම නවීන කෘෂි තාක්ෂණික ක්‍රම සඳහා මෙරට ගොවි ජනතාව යොමු කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

කෘෂි නවීකරණ වැඩපිලිවෙළට සම්බන්ධ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙම නව කවුන්සිලය පිහිටුවීමේ අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එම සමස්ත සැලසුමට අදාළ යෝජනාවලිය සති දෙකක් තුළ සකස්කර ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ

මේ අතර දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එරට එන්නත්කරණය සහ ජෛව තාක්ෂණ පර්යේෂණ පිළිබඳ ගෝලීය ආයතනික හවුල්කරුවෙකු වන එස්.කේ. බයෝටෙක් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *