කෙහෙළියට තවත් ලෙඩක්

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලිකව පෙනීම අහිමි වූ රෝගියෙකු හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් හා තවත් අටදෙනකුගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා.

ඒ ඔහුගේ ඇස්වලට සිදු වූ හානිය සහ ඔහුගේ ජීවිතයට ඇති විය හැකි තර්ජන හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

අදාළ පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ වන්දි මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී.ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල පෞද්ගලික සමාගමට එරෙහිව මෙසේ එන්තරවාසි යවා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහායි.

එහිදී එම ශල්‍යකර්මයෙන් පසු අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ ඇසට යොදා ඇති අතර 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, ඇසේ අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බවයි ඔහු පවසන්නේ.

පසුව ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවූ බවත්, පරීක්ෂණවලට අනුකූල නොවීම හේතුවෙන් එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත්, එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *