කොවිඩ් කාලේ අනිවාර්ය ආදාහනය ගැන මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාව

කොවිඩ් වසංගත සමයේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ඒ අනුව, ඉකුත් ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාවක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.

හැටන් නගරයේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමින් ඒ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය මෙම බලහත්කාරය නිර්මාණය කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් බවත්, මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොවිඩ් වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින් බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක් මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති ධුරට භාරගත් පසු මා උපදෙස් ලබා දුන් බවත් එහි දී අමාත්‍යවරයා පවසා තිබුණා.

ඉකුත් 2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රධාන අරමුණ වු බවත්, ජල තාක්‍ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොවිඩ් ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කර තිබු බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මුද්‍රා තැබූ සිරුරු ගැඹුරින් භූමදාන කිරීම ඇතුළු නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑ ම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙන බවත්, එම පර්යේෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන තමන්ට කනස්සල්ලක් ඇති බවයි.

එබැවින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් රජයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදී ම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *