ග්‍රාම නිලධාරීන්ගෙන් ජනපතිට ටෙලිමේල් දස දහසක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදු කරන වර්ජනය හෙට (16) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

අද වයඹ පළාතේ සියලූම රජයේ රෝහල්වල පැය 4 ක සංකේත වැඩ වර්ජනයක් ඔවුන් දියත් කළ අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ඩැට් දීමනාව ලබාදීම මෙන්ම සෞඛ්‍ය සේවකයින් සඳහා වැඩි කිරීමට පොරොන්දු වූ රුපියල් 3,000ක දීමනාව එක් පාර්ශ්වයකට පමණක් ලබාදීමට රජය කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් මෙම වැඩවර්ජනයට එක්වනවා.

මේ අතර සිය වැටුප් ගැටලූවට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට අතවශ්‍ය සේවාවලින් ඉවත්ව අඛන්ඩ වර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ඊයේ තීරණය කළා.

මෙම වර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇතැයි පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට ලිපියක් භාර දුන්නා.

මේ අතර පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ විධායක නිලධාරීන්ද අද (15) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

රාජ්‍ය ඉංජිනේරු සේවය, ආයුර්වේද, පශු වෛද්‍ය, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, කෘෂිකර්ම සේවය ඇතුළු ශ්‍රේණි 18ක විධායක නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්ව සිටිනවා.

මේ අතර සේවයට සරිලන වැටුප් ලබා නොදීම, දීමනා ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ඊයේ (14) ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වුණා.

එවන් පසුබිමක තමන් මුහුණ දී ඇති ගැටලූ සඳහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත විදුලි පණිවුඩ 10,000 ක් යැවීමට කටයුතු කරන බවයි ග්‍රාම නිලධාරී ඒකාබද්ධ වෘත්තිය බල මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීවරුන් අද දිනයේදී වර්ජනයේ නිරත විම හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *