ජනාධිපති අරමුදලින් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

2022 වසරේ අගෝස්තු මස වනවිට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝග හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩගැසී තිබුණු බව ද, ඒ සියල්ල එම වර්ෂය තුළම ගෙවීමටත්, ගෙවීම් කිරීමේ දී අදාළ දීමනාව 50% සිට 100% දක්වා වැඩිකිරීමට පියවර ගත් බව ද, ඉල්ලුම්පත්‍රයක් ලැබී සතියක් තුළ අදාළ දීමනා සඳහා ප්‍රතිපාදන වෙන්කරන තත්වයට එම කටයුතු කඩිනම් කිරීමට වත්මන් ආණ්ඩුව යටතේ පියවර ගත් බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අරමුදල මගින් රටේ පාසැල් දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසුදරුදැරියන් 4000ක් වෙත ශිෂ්‍යාධාර දීමනා සහ පාසල් පොත් සහිත බෑග ලබාදීම සඳහා අද (16) පැවති ජාතික උත්සවයට සහභාගිවීමට පෙර ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති අරමුදල මගින් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුදරුදැරියන් 1,16000 ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත්, අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන මෙම ආයෝජනය රටේ ඉදිරි ගමන පිළිබඳ වන සාධනීය සාධකයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මීට වසර දෙකකට පෙර ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ ලබාදුන් ආකාරය කෙරෙහි අවධානය යොමු කළහොත්, පැහැදිලි වන කරුණ වන්නේ, සෞඛ්‍යමය හේතු සම්බන්ධයෙන් උදව් අවැසි පුරවැසියන්ට සහන ලබාදීමට, විශේෂයෙන් හෘද රෝග සැත්කම් සඳහා ආධාර ලබාදීමට මෙම අරමුදල් ප්‍රතිපාදන වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුවීම බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා, එහි දී එම ආධාර මුදල් ලබාදීම තුළ විශාල ප්‍රමාදයක් පැවති බව ද ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *