ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා දිනය අදයි

ක්‍රිස්තූන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිපත් කරමින් කිතුනුවන් අලු බදාදා දිනයෙන් ඇරඹුනු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දානමාන, පාද නමස්කාරය ආදී වත්පිළිවෙත්වල නිරතවනවා.

දෙව්පුත් කිතු සමිදාණන් මිනිසා පවෙන් මුදාගැනීම වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීම මහ සිකුරාදා දිනයේ කිතුනු බැතිමතුන් සමරන්නේ දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක්වෙමින්.

ක්‍රිස්තූන් වහන්සේ මළවුන්ගෙන් නැවත උත්ථානය වීම පාස්කු ඉරිදාවේ සිදුවූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඇතමුන් මෙය නැවත නැගිටීමේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබනවා. අද දිනයේද දේව මෙහෙයන් ඇතුලු ආගමික කටයුතුවලට එක්වන කිතුනු ජනතාව කිතු සමිඳුන්ගේ සදාකාලික ප්‍රේමය සිහිපත් කරමින් මෙම සැමරුම සිදුකරයි.

මෙරට කිතුනු බැතිමතුන්ට පාස්කු ඉරිදාව අමතක නොවන දිනයක් වන්නේ 2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුනු පාස්කු ඉරිදා දිනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන්.

එදා පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයන් වෙනුවෙන් එක්වූ බැතිමතුන් සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් එම මිලේච්ඡ ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී තිබුණා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය, ශුද්ධ වූ සෙබස්තියන් මුණිතුමන්ගේ දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය බැතිමතුන්ගෙන් පිරී ගොස් තිබුණේ ජේසූස් ක්‍රිස්තුස් වහන්සේ යළි උත්ථානය වීමේ මහා බලය සැමරීම සඳහායී.

එහෙත්, පුපුරා ගිය බෝම්බ මව්පියන්ට දරුවන් මෙන්ම, දරුවන්ට මව්පියන්ද, අහිමි කළේ තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත් කරමින්.

කොළඹ ෂැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ලේක්සයිඩ් හෝටල් ද ඔවුන් ඉලක්ක කළ අතර, ප්‍රධාන ප්‍රහාරවලින් පසුව දෙහිවල ලැගුම් හලකින් සහ පස්වරුවේ දෙමටගොඩින්ද පුපුරුවා ගැනීම් වාර්තා වුණා.

එදා පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් ජීවිතයෙන් සමුගත් පිරිස 269 ක් බව වාර්තාවල සඳහන්.

එදා සුවහසක් කිතුනු ජනතාවගේ ඉවසීම, දහම විසින්ම ඔවුන්ට කියා දුන් දයාවේ වටිනාකම පෙන්නුම් කළ අවස්ථාවක් බවද අද සටහන් කළ යුතුමයි.

මේ අතර අදට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් ආගමික වතාවත් පැවැත්වෙන දේවස්ථාන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ සඳහා පොලිස් නිළධාරීන් 6,522ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 320ක් සහ ත්‍රිවිධ හමුදාවේ 2,746 ක් යොදවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *