තරුණයෙකු පැහැර ගෙන ගොස් වධ හිංසා කළ 7ක් අත්අඩංගුවට

වවුනියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ තරුණයෙකුව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කොට අමානුෂීය ලෙස පහරදීමේ සිද්ධියක් මත වවුනියාවේ තරුණයින් හත් දෙනෙකු පොලීසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණයා 7 වෙනිදා උපන් දින සාදයකට සහභාගී වීම සදහා මිතුරෙකුගේ නිවසකට ගොස් ඇති අතර ඔහු ආපසු නොපැමිණීම නිසා දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් වවුනියාව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔහු සිටින ස්ථානය සොයා ගැනීමට හැකි වී ඇති අතර පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත ගොස් ඔහුව බේරා ගෙන තිබෙනවා.

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ පාලු නිවසක මෙම තරුණයා සිර කර තබා ඔහුට ඉතා අමානුෂීය අන්දමට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල ලෙස තුවාල ලබා සිටි එම තරුණයා පොලිසියට පවසා ඇත්තේ උපන් දින සාදයේ සිටි ඔහුගේ හිතවතුන් පිරිසක් පැරණි කෝන්තරයක් මත තමන්ට මේ අන්දමට පහර දුන් බවයි.

තරුණයාව ප්‍රතිකාර සදහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුව පැහැර ගැනීමට භාවිත කළ යතුරු පැදි හතරක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණයින් හත් දෙනා වවුනියාවේ කෝවිල්කුලම වෙප්පන්කුලම තෝනිකල් යන ප්‍රදේශවල පදිංචි තරුණයින්.

සැකකරුවන්ව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *