ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම ගැන ICCය සහ සංවිධායකයින්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

ලබන මස අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාර‍යක් එල්ලවීමට ඉඩ ඇති බවට මේවන විට ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු පකිස්ථානය පදනම් කරගත් IS හිතවාදීන් විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල කර ඇති බවයි.

අදාළ සිදුවීම තහවුරු කරමින් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි අගමැති කීත් රොව්ලි පවසන්නේ කොදෙව් බුද්ධි අංශ මෙම සිදුවීම සම්බන්ධයෙන් අනාවරණය කර ඇති බවත් ලෝක කුසලානය වෙනුවෙන් පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ICCය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනයෙන් දැක්වෙන්නේ ලෝක කුසලානයේ තරග පැවැත්වෙන අමෙරිකානු සහ කොදෙව් බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් තරග පැවැත්වෙන නගරවල ආරක්ෂාව සහතික කිරීම සහ ලෝක කුසලානයට එක්වන කණ්ඩායම්, ICC නිලධාරීන් හා ක්‍රීඩා ලෝලීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සිය වගකීම බවයි.

ත්‍රස්ත බිය දුරුකරමින් සාර්ථක තරගාවලියක් පැවැත්වීමට තමන් බැඳී සිටින බව ICC සහ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කර නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *