තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු 3කට වසර 7ක බරපතල වැඩ සහිත සිරදඬුවම්

2003 වසරේදී හෝටල් හිමිකරුවෙකු ඇතුළු පස්දෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික වධහිංසා පැමිණවීමේ සිද්ධියට වරදකරු වූ තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට මාතර මහාධිකරණය වසර 7 බැගින් බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

එමෙන්ම වධහිංසාවට ලක්වූ පුද්ගලයින් 5 දෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් විත්තිකරුවන් තිදෙනා වෙන් වෙන් වශයෙන් වන්දි ගෙවිය යුතු බවට ද මාතර සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු චමත් මදනායක නියෝග කළා.

2003 වසරේදී තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයක හිමිකරු, එහි සේවකයින් ලෙස කටයුතු කළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ඇතුළු 5 දෙනෙකු පැහැරගෙන ගොස් වධහිංසා පැමිණ වූ බවට නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබුණා.

අදාළ හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් අතරතුර මෙලෙස ඔවුන් පස්දෙනා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් කෲර වධහිංසා කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ.

ඊට අමතරව ගිනි අවි සහ බෝම්බ ළඟ තබාගත් බවට එම පස්දෙනාට නඩු පවරමින් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කළ බවත් නඩුවේදී හෙළිවුණා.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාතර සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු චමත් මදනායක ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි.

ඒ අනුව එවකට තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ වත්මන් කොස්ගොඩ පොලිස් ස්‍ථානාධිපතිවරයාට වසර 7 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා.

මීට අමතරව එවකට තිස්සමහාරාම පොලිසියේ සේවය කළ දැනට වැල්ලවත්ත පොලිසියේ සිටින උප පොලිස්ප රීක්ෂකවරයෙකුටත්, තිස්සමහාරාම පොලිසියේ සැරයන්වරයෙකුටත් වසර 7 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

මීට අමතරව රුපියල් 10,000 බැගින් වූ දඩ මුදල් ද මහාධිකරණය විසින් විත්තිකරුවන්ට නියම කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *