තෙවරප්පෙරුම කඳුළු සයුරක් මැද මිහිදන් වෙයි

මෙරට ජනසමාජය තුළ මෙන්ම දේශපාලන ලෝකයේ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කළ ජනතාවාදී දේශපාලනඥයෙකු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ (19) සිය ජීවන ගමන අවසන් කළා.

ඔහු විසින්ම තනා නිමකළ සොහොන් බිමේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ අතිවිශාල පිරිසකගේ සෝ සුසුම් මැදයි.

විදුලි සැර වැදීමක් හේතුවෙන් රෝහල්ගත කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා දිවි ගමනට සමු දුන්නේ පසුගිය අඟහරුවාදායි.

ජනහිතකාමී දේශපාලනඥයෙකු වූ ඔහු වෙනුවෙන් අවසන් ගෙෘරවය දැක්වීමට ගතවූ දින කිහිපය පුරා බොහෝ පිරිසක් එක් වුණේ පක්ෂ පාට බේද පවා මෙහොතකට අමතක කරමින්.

ඊයේ පෙරවරු කාලයේත් විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරව දැක්වීම සඳහා මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ පෙරවරුවේ පැමිණියා.

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආරම්භ කෙරුණේ ඊයේ පස්වරු 2ට පමණ.

ආගමික වතාවත්, දේශපාලන නියෝජිතයින්ගේ සහ හිතවතුන්ගේ ගුණකථනවලින් අනතුරුව තමන් ජීවතුන් අතර සිටියදීම සකසා ගත් සොහොන වෙත
පාලිත තෙවරප්පෙරුමගේ දේහය රැගෙන ගියේ රැස්ව සිටි අතිවිශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේයි.

වසර 22 කට අධික පොදුජන හිතකාමී දේශපාලන චාරිකාවක නිමාව සනිටුහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මෙලෙස ලක්මවට සමු දුන්නේ සැබෑ ජනතා සේවයේ වටිනාකම පිළිබඳ කිසිදා නොමැකෙන මතක රැසක් ජන මනස තුළ ඉතිරි කරමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *