දුන් දඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගේ පෙත්සම් විභාගය කල් යයි

කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම ඇතුළු කටයුතු ඉටුකර දීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී අත් හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමේ විභාගය මැයි මස 22 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (30) නියම කළා.

මෙම අභියාචනා පෙත්සම විභාග කරන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු පී. කුමාරන් රත්නම් අද දින නඩු විභාගයට සහභාගි නොවීම හේතුවෙන් මෙම පෙත්සම් විභාගය කල් තැබීමට නියම කෙරුණා.

ඒ අනුව මැයි මස 22 වන දා විභාගය පැවැත්වීමටයි අධිකරණය දින නියම කළේ.

අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලන් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට නියම කර තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාල චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර පහකට අත් හිටුවීමට තීන්දු කළා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *