නිදහස් පක්ෂ සභාපතිකම ඉල්ලා විජයදාස දැමු පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන් . සමරකෝන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ මුල් අධිකරණ බලය පැවරී තිබෙන්නේ කොළඹ දිසා අධිකරණයට බවයි.

එවැනි තත්ත්වයක් හමුවේ මෙම නඩුකරයේ අන්තර්ගත කරුණු කාරණා සම්බන්ධයෙන් මැදිහත්වීමට අභියාචනාධිකරණය සතු ප්‍රතිශෝධන බලය ක්‍රියාවේ නැංවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම ප්‍රතිශෝධන පෙත්සමේ කටයුතු සඳහා මැදිහත්වීමට අවශ්‍යතාවයක් මතු නොවන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන බවත් සඳහන් කළා.

මෑතකදී අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීරස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

දිසා අධිකරණය එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ ඒක පාක්ෂිකව බවත් එම වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා විජයදාස රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *