නිමල් සිරිපාලට එරෙහි තිලංගගේ පැමිණිල්ලේ අතුරු තහනම තව දුරටත් දිගු වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ තීරණයට එරෙහිව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ගොනු කර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එහිදී විරෝධතා තිබේනම් ඒවා සැප්තැම්බර් මස 06 වනදා ගොනුකරන ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකාර තිලංග සුමතිපාල ට නියෝග කරනු ලැබුවා.

පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා කියා සිටින්නේ පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා වූ තිලංග සුමතිපාල කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි නිදහස් පක්ෂ කාර්යාලය තුළ තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ සිටියදී ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු පැමිණ දොරවල්වලට ඉබි යතුරු දැමීමට කටයුතු කළ බවට ඔහු විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

අයුතු ලෙස රඳවා තබා ගැනීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තිලංග සුමතිපාල මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එය සලකා බැලූ මාලගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කළ බව පෙන්වා දෙන නිමල් සිරිපාල ද සිල්වා අධිකරණය විසින් මෙම සිතාසි නිකුත් කර තිබෙන්නේ ප්‍රමාණවත් කරුණු හැදෑරීමකින් තොරව බවත් සඳහන් කළා.

ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන පෞද්ගලික පැමිණිල්ල මත වූ ඉදිරි විභාග කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම තමන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා අභියාචාදීකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *