නිවසකට පැමිණ තර්ජනය කළ TID නිලධාරීන්ට වැඩ වරදී

පන්නිපිටිය – වීර මාවතේ පිහිටි නිවසකට පැමිණ එහි නිවැසියන්ට තර්ජනය කළ බව පැවසෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔවුන් පසුගිය දිනක එම නිවසට පැමිණ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින්.

පන්නිපිටිය – වීර මාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළක කාන්තාවට කලක් තිස්සේ සිය පියාගෙන් බලපෑම් එල්ල වී තිබුණේ, විවාහයෙන් වෙන්වන ලෙසටයි.

කාන්තාවගේ පියා විසින් ඇගේ සැමියාට අවස්ථා කිහිපයකදීම තර්ජන කිරීම් සහ හිරිහැර ද සිදුව තිබූ අතර ඔවුන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණේ එම කරදර ඉවසා ගත නොහැකි තැනයි.

නමුත් පියා ඩුබායි රාජ්‍යයට ද ගොස් ඔවුන්ට හිරිහැර කිරීම හේතුවෙන් ඔවුන් යළි මෙරටට පැමිණ පන්නිපිටිය – වීර මාවතේ පිහිටි නිවසේ පදිංචිව සිට තිබෙනවා.

එවන් පසුබිමක පසුගිය දිනක එම නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පැමිණි කිහිපදෙනෙකු පිරිමි පුද්ගලයාගේ මවට තර්ජනය කර ඇත්තේ පුත්‍රයා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම පිළිබඳ චෝදනා එල්ලවී ඇති අයෙකු බව පවසමින්.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පැමිණි පිරිස බිරිඳගේ පියාගේ මිතුරන් බවට හඳුනාගත් පසු තලවතුගොඩ ප්‍රදේශයේ අවන්හලකදී එම පිරිස හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වි ඇත්තේ CID නිලධාරියෙකු ලෙස පැවසූ එක් පුද්ගලයෙක් වරාය අධිකාරියේ සේවකයෙකු බවයි.

අනෙක් පිරිස අතරින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් වරාය සේවකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනා පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

එම නිලධාරින් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව කළ විමසීමකදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්වරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *