පළාත් පාලන ඡන්ද අපේක්ෂකයින්ට රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලූ පෙත්සම කැඳවීම කල්යයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන උපදෙස් මාලාව අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා
ගොනුකර තිබෙන පෙත්සම ජූලි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේ අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ජනාධිපති ලේකම්වරයා , මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණා.

නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට සංවර්ධන වැඩ කටයුතුවලට අදාළව රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඉකුත් මැයි මස 07 වනදා ජනාධිපති ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති අතර මෙම කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙන බවයි පෙත්සමේ සඳහන් කර ඇත්තේ.

එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් රැසක්ම පළාත් ප්‍රජා කමිටුවල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් විසින් රාජ්‍ය සම්පත් භාවිතා කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයක් උදාවී තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛකයට අනුකූලව කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *