ප්‍රංශයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෙකුගේ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහණය කරමින් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්‍ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.10.20 වන දින වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් මාර්ගයේ පාලම අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී මාර්ගයේ ධාවනය කරමින් තුබූ සුඛෝපභෝගී කාර් රථයක් නවතා පරික්ෂා කිරිමේදී එම කාර් රථයේ තිබී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 258 ක් හා ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් අට ලක්ෂ හැටනමදහස් අටසිය අනූවක්ද (රු. 869,890.00) සමග කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පදිංචිව සිටි හැදල, වත්තල යන ලිපිනයේ පිහිටි නිවස පරික්ෂා කිරිමේදී නිවසේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් බවට සැකකරන රුපියල් ලක්ෂ විසිදෙකක් ද (රු. 2,200,000.00) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය දැනට ප්‍රංශයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රූබන් නැමැත්තා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකින් ලැබෙන මත්ද්‍රව්‍ය බවට කරුණු අනාවරණය වී ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *