පාකිස්ථානයට වතුර ප්‍රශ්නයක්

ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ ජීවන අර්බුදයකට මුහුණ පා සිටින පකිස්ථානයේ ජනතාව මේ වනවිට උග්‍ර පානීය ජල හිගයකට මුහුණ පා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

එමගින් සමාජ, පාරිසරික සහ ආර්ථික තත්ත්වයන් සඳහා සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇතැයි සඳහන් කරන එම මාධ්‍ය වාර්තා පවසන්නේ, දශක ගණනාවක් තිස්සේ පැහැදිලිව පෙනෙන ජල හිඟයක් තිබියදීත්, බලයට පත් වූ රජයන් ඒ සඳහා විසඳුම් ලබා නොදීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් තිබෙන බවයි.

මෙහි දී ඉකුත් රාමසාන් උපවාස සමයේ දී ජනතාවට ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා දීමට පාකිස්ථාන පාලනය අපහොසත් වීම කැපී පෙනෙන බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එරට ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ආරක්ෂිත පානීය ජලය සඳහා පහසුකම් නොමැතිව සිටින අතර, ඉදිරි වගා සමය සඳහා ජල ලබා ගැනීමේදී ගොවීන් 30%ක පමණ ජල හිඟයක් අත්විඳිමින් සිටින බවයි මාධ්‍ය වාර්තා පළ වෙන්නේ.

පාකිස්ථානයේ මූල්‍ය අගනුවර වන කරච්චි ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ නගර අතර ප්‍රමුඛ වන අතර එම මාධ්‍ය වාර්තා නගර වැසියන් උපුටා දක්වමින් සඳහන් කරන්නේ, ජල ගැටලුව සම්බන්ධයෙන් නගරයේ තත්ත්වය භයානක බවයි.

කෙසේ නමුත් ඔවුන් චෝදනා කරන්නේ, සතියකට පැය 72ක ජල සැපයුමක් සඳහා මුදල් ගෙවන නමුත් ජලය ලැබෙන්නේ පැය 18ක් පමණක් බවට ඔවුන් චෝදනා නගනවා.

මේ අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජල හිඟය උග්‍ර කරන ජල මාෆියා ප්‍රශ්නයට විසඳුම් ලබා නොදීම සම්බන්ධයෙන් පකිස්ථාන පාලනය දැඩි විවේචනයට ලක්ව ඇති බවයි.

කෙසේ නමුත් ඉකුත් 2022 වසරේ දී පාකිස්ථානය පෙර නොවූ විරූ ගංවතුරකට මුහුණ දුන් අතර එහි දී රටෙන් තුනෙන් එකක් ජලයෙන් යට වූ අතර අප්‍රෙල් මුල දී ඇති වූ අධික වර්ෂාපතනය හමුවේ පකිස්ථානයට හදිසි ගංවතුර තත්ත්වයක් ද ඇති වුණා.

මෙම සිදුවීම් නොතකා, පාකිස්ථානය ජල පීඩනය සමඟ දිගට ම අරගල කරන අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් 2035 වන විට තත්වය නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

එක්සත් ජාතීන්ගේ ‘ගෝලීය ජල සුරක්ෂිතතාව 2023 තක්සේරුව’ වාර්තාවට අනුව, පකිස්ථානය තීරනාත්මක ජල අනාරක්ෂිත කාණ්ඩයේ සිටින රටක්.

පසුගිය වසර 70 තුළ 80%කට වඩා අඩු වී ඇති ඒක පුද්ගල ජල සම්පතේ පහත වැටීම කැපී පෙනෙන තත්ත්වයක් වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *