පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් දෙකකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සර්වජන බලය සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජී. වීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ තුළින් පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

එබැවින් යෝජිත පනත් කෙටුම්පත් වල අන්තර්ගත වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් දැනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර අදාළ පනත් කෙටුම් පත් අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් විසින්ද පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *