පාර්ලිමේන්තුවේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව අද (09) පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වූවා.

එහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුරප්පාඩුවක් ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවස්ථාව හිමිවුණා.

එහිදී පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් තිබියදී වුවත් කිසිම කොන්දේසියක් නොමැතිව තමන් රට බාරාගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබු නිසා බවත්, ඒ හමුවේ අපායට වැටී තිබු රට ගොඩගත හැකිය යන විශ්වාසය තමන්ට තිබූ බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

මේ වන විට රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම, 2024 වසරේ ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැකි වන්නේ 2025 වසරේදී බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *