පාර්ලිමේන්තු මැතිවරණය දිනයට එරෙහි පෙත්සම සදුදා කැඳවයි

පාර්ලිමේන්තු මැතිවරණය මේ මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙන පෙත්සම අනිද්දා (04) දින කැදවීමට නියමිතයි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම ”‍අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ”‍ කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් නම් කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටියේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාමයෝජනා කැඳවීම පසුගිය මස 04 වනදා සිට 11 වනදා දක්වා සිදු කළ බවයි.

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව ද පෙත්සමෙන් දක්වා තිබුණා.

ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ පසුගිය මස 11 වන දා සිට සති පහක කාලය එනම්, මේ මස 15 වනදා අවසන් වන අතර සති 07 කාලය මේ මස 29 වනදා සම්පූර්ණ වන බවද පෙත්සමේ සඳහන්.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු මැතිවරණය නියම කර තිබෙන මේ මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින මැතිවරණය පැවැත්වීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු කියා සිටියේ.

මේ අතර,පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 7 වනදාට පෙර නිවසට නොලැබුනොත් ඒ සම්බන්ධයෙන් ළගම ඇති තැපැල් කාර්යාලයෙන් විමසන ලෙස නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඉල්ලීමක් කළා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *