පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට ජනපති ඊලෝන් මස්ක් සමඟ සාකච්ඡාවක

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදී නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එයට සමගාමීව මධ්‍ය මහා විද්‍යාල සහ ජාතික පාසල් කෘතිම බුද්ධි පාසල් දක්වා උසස් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ අද (06) පැවති උත්සවයට එක්වෙමින්.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලට අයත්.

එක් සුහුරු පංති කාමරයකට ටැබ් පරිගණක යන්ත්‍ර 10 බැගින් පංති කාමර 200 සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර 2000 ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුව තිබුණා.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පවසනවා.

”මේ වන විට පාසල් තුළ කෘතිම බුද්ධි සමාජ ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එංගලන්තය ඇමරිකාව වැනි රටවල කෘතිම බුද්ධි තාක්ෂණය ආරම්භ කර වසර කිහිපයක් ගත වෙනවා. අප මේ වසරේ ආරම්භ කළ කෘතිම බුද්ධි තාක්ෂණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ගුරුවරුන්ට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ යටිතල පහසුකම් ලබා දීමට රජය කටයුතු කරනවා.

නවීන තාක්ෂණය සමග ඉදිරියට යාමේදී අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබෙන සහාය ඉතා අගය කොට සලකනවා. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා ශ්‍රී ලංකාවට අයිඅයිටී තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලබාදීමටද කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා සාර්ථකව සිදු වෙනවා.

මැලේසියාවේදී ඊලෝන් මස්ක් සමඟ මම සාකච්ඡා කළා. එතුමාගේ අන්තර්ජාල තාක්ෂණය, පාර්ලිමේන්තු පනත සම්මත වූ පසුව මෙරටට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඈත ගම්වල සිටින දූ දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය කඩිනමින් ලබාදීමට එමඟින් අවස්ථාව ලැබෙනවා. අද දකුණු පළාත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා දක්වන පළාතක් බවට පත්ව තිබෙනවා. දකුණු පළාතේ පළමු ඕලන්ද පාසල තමයි අද බද්දේගම ජාතික පාසල බවට පත්වී තිබෙන්නේ. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන අනාගතයට ගැළපෙන දරුවෙක් නිර්මාණය කිරීම මඟින් රටක් ලෙස ලෝකය ජය ගැනීමට අපට අවස්ථාව හිමි වෙනවා.”

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *