පාසලේ තියෙන්න ඕනේ දරුවන් සුරකින පක්ෂ මිස දෙමාපියන්, ගුරුවරුන්ගේ පක්ෂ නෙවෙයි

පාසල් තුළ දූදරුවන්ගේ දෙමාපියන්ගේ පක්ෂ, ගුරුවරුන්ගේ පක්ෂ නොතිබිය යුතු අතර පාසල තුළ තිබිය යුතු වන්නේ දරුවන් සුරකින පක්ෂ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හොඳම දේ දරුවන්ට කිව්වද සමහර පුද්ගලයන් දරුවන්ට යමක් දෙන විට ඊට අකුල් හෙළන බවත් ඔවුන් තමතමන්ගේ දේශපාලන මතිමතාන්තර ඉස්මතු කර ගෙන දරුවන්ට යමක් ලබා දෙන විට එයට බාධා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

දරුවන්ට දෙයක් දෙන විට වෛර නොකර, ක්‍රෝධ නොකර, ඊර්ෂයා නොකර, කුහක නොවී තමා සමඟ තරගයට වැඩ කරන්න ආරාධනා කරන බව ද ඔහු පවසනවා.

තවද 76 වසරක් තුළ ඉටු නොවූ සේවාවක් වත්මන් විපක්ෂය මඟින් ඉටු වන බව ද විපක්ෂ නායකවරයා පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (02) පොළොන්නරුව මින්නේරිය හිඟරක්ගොඩ නාගපොකුණ කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 279 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙරට සුහුරු අධ්‍යාපනය මෙන්ම සුහුරු කෘෂිකර්මාන්තයත් ඇති කළ යුතු අතර ඉඩමේ ඵලදායිතාව වැඩි කර ගැනීම සඳහා සුහුරු ගොවිතැන උදෙසා නවින තාක්ෂණ උපකරණ ඇතුළු තාක්ෂණය රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන බව ඔහු සඳහන් කරනවා.

ඒ අනුව විපක්ෂ නායකවරයා පවසන්නේ සීමාසහිත භූමිය තුළ නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන ඵලදායිතාව වැඩි කර ගත හැකි බවයි.

ගොවිජනතාව එකවරම නිෂ්පාදන යොමු කරනවා වෙනුවට උපක්‍රමිකව තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරිමට අවශ්‍ය ගබඩා පහසුකම් ඇති කළ යුතු අතර එවිට අස්වැන්න විදේශයට පවා අපනයනය කළ හැකි බව විපක්ෂ නායකවරයා පවසනවා.

එවිට ගොවියාට පවා ඩොලර් උත්පාදනය කළ හැකි බවත් ඒ සඳහා සැලසුම් සමගි ජන බලවේගය විසින් සකස් කර ක්‍රමිකව එය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 279 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3050ක් වැය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *