පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම් විභාගය කල් යයි

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද යළි විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ තීරණය තුළින් එම කොමිසම පළාත් පාලන විමසීම් පනතේ විධිවිධාන බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බව සඳහන් කළා.

ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි අවස්ථාවක ගත හැකි පියවර අදාළ පනතේ පැහැදිලිව දක්වා තිබුණද එය අනුගමනය කිරීමට කොමිසම කටයුතු කරන නොමැති බවත් ඔහු පේනවා දුන්නා

මැතිවරණ කොමිෂන් සභාවට අදාළ නීතිය යටතේ එම කොමිෂන් සභාවේ රැස්වීමක් පැවැත්වීමේදී ඝණ පූර්ණය අත්‍යවශ්‍ය කරුණක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා එහෙත් මෙම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තීන්දු තීරණ ගැනීමේ වැදගත් රැස්වීම් ඝණ පූර්ණය නොමැතිව පවත්වා තිබෙන බවත් සඳහන් කර සිටියා.

රටේ ආර්ථික අර්බුදය පැවති අවස්ථාවක රජය විසින් පාර්ලිමේන්තුවට විසර්ජන පනතක් ඉදිරිපත් කළේ පවතින අර්බුදයෙන් ජනතාව මුදා ගැනීමේ අරමුණින් බවත් ඒ තුළ ඡන්ද විමසීමක් පිළිබඳව කිසිවක් සඳහන් නොවූ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

එහෙත් ඊට අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් වැරදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන සිකුරාදා තෙක් කල් තැබුණා.

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *