පෘථිවියට තවත් සඳක්?

ඉකුත් 2016 වසරේ සොයා ගත් දින සිට ම අභිරහසක් වූ ග්‍රහකයක් චන්ද්‍රයාගේ කොටසක් විය හැකි බව දැන් තාරකා විද්‍යාඥයින්ගේ විශ්වාසය වී ඇති බව පර්යේෂණ වාර්තා සඳහන් කරනවා.

චීනයේ ෂිංහුවා (Tsinghua) විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ යිෆියි ජියාඕ (Yifei Jiao) විසින් මෙහෙයවන ලද නවතම පරීක්ෂණයක දී
කමෝඅලෙවා (Kamo’oalewa) නම් එම ග්‍රහකය සඳෙහි පිහිටි ගියර්දානෝ බෘනෝ (Giordano Bruno) ආවාටයේ කොටසක් බව නිගමනය කර තිබෙනවා.

එහි දී එම පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ, “පෘථිවි සම-කක්ෂීය අවකාශයට සංක්‍රමණය වන බලපෑම-ප්‍රේරිත චන්ද්‍ර කොටස් සඳහා වන ක්‍රියාවලීන් අපි ගවේෂණය කර තිබෙනවා. මීට වසර මිලියන කිහිපයකට පෙර ගියර්දානෝ බෘනෝ (Giordano Bruno) ආවාටය සෑදීමෙන් කමෝඅලෙවා (Kamo’oalewa) ග්‍රාහකයේ සම්භවය සම්බන්ධයෙන් අදහසකට එළඹිය හැකි” බවයි.

එසේ ම “මෙය අභ්‍යවකාශයේ ඇති නිශ්චිත ග්‍රහකයක් සඳ මත ඇති එහි ප්‍රභව ආවාටයට සෘජුවම සම්බන්ධ කරන අතර පෘථිවියට ආසන්න අභ්‍යවකාශයේ තවමත් සොයා ගැනීමට නොහැකි චන්ද්‍ර ද්‍රව්‍යවලින් සමන්විත කුඩා ග්‍රහක පවතින බව යෝජනා කරයි.” යනුවෙන් එම පර්යේෂණය පවසනවා.

කමෝඅලෙවා (Kamo’oalewa) ග්‍රහකය සියවස් ගණනාවක් පුරා පෘථිවි කක්ෂීය සමීපත්වය සූර්යයා සමඟ බෙදාගෙන ඇති අතර අවසානයේ විද්‍යාඥයන් විසින් මෙම ග්‍රහකය වරක් සඳෙහි කොටසක් බව හඳුනා ගෙන ඇති බවයි එම සොයා ගැනීම සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කමෝඅලෙවා (Kamo’oalewa) ආලෝකය පරාවර්තනය කරන ආකාරය මෙන්ම එහි වර්ණය චන්ද්‍ර මතුපිටට බෙහෙවින් සමාන වීම නිසා මෙය සොයා ගෙන ඇති අතර ෂින්හුවා විශ්වවිද්‍යාලයේ පර්යේෂක යිෆියි ජියාඕ සහ ඔහුගේ කණ්ඩායම එහි මූලාරම්භය සොයා ගැනීම සඳහා විශ්ලේෂණය තවත් පියවරක් ඉදිරියට ගෙනවිත් තිබෙනවා.

ඒ සඳහා ඔවුන් ග්‍රහකයේ භෞතික හා කක්ෂීය ගුණ මෙන්ම චන්ද්‍ර බලපෑම් පිළිබඳ ආකෘති ද භාවිත කර ඇති බවයි ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර කමෝඅලෙවා (Kamo’oalewa) ග්‍රහකය වසර මිලියන 100කට වඩා තරුණ විය යුතු බව එම පර්යේෂකයන් සොයාගෙන ඇති අතර ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ, පෘථිවියට ආසන්න ග්‍රහක සාමාන්‍යයෙන් මෙම කාලයට වඩා වැඩි කාලයක් පෘථිවිය අසල රැඳී නොසිටින බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *