පෙරටුගාමින්ට වැඩ වරදී

පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන් 500 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පෙරේදා (20) කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් සිව් දෙනාට පහරදුන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය..

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ විනී වර්ණසේකර,හේරත් මුදියන්සේලාගේ අශෝක, තුසිත අරවින්ද, මහේෂ් ප්‍රියන්ත සහ ධනංජය බණ්ඩාර යන අයවලුන්ය.

හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අද (22) නඩුව කැඳවූ අවස්ථාවේදී පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් සිව් දෙනා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බැවින් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන්ට පැමිණිය නොහැකි බවත් ඒ හේතුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීහු ප්‍රකාශ කළහ.

එම ඉල්ලීමට අවසර දෙමින් ලබන 27 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියෝග කළ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එදිනට සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *