පොළොන්නරුව ජයග්‍රාහී ජනතා රැලිය

නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනයයි
ජනාධිපති අනුර කුමාර දිසානායක

දහස් සංඛ්‍යාත ජනතාවක් මහා වැස්සට මුහුණ දෙමින්, පොළොන්නරුවේ ඓතිහාසික ජයග්‍රාහී රැලිය පවත්වනවා. ජනතාවගෙන් පිළිබිඹු වන බලාපොරොත්තුව, අපේක්‍ෂාව සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් පෙන්නුම් කර තිබෙන්නේ නොවැම්බර් 14 වැනිදා සුවිශේෂී ජයග්‍රහණයක් පොළොන්නරුවෙන් ලබාදෙන බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මෙරටේ ජනතාව ජනාධිපතිවරණයේදී මේ රට නව දිශාවකට යොමු කිරීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවනු ලැබුවා. රටේ සාමාන්‍ය තත්වය පවත්වාගෙන යමින්, ජනතාවට අවශ්‍ය සහන සහ රට ගොඩනැඟීමට අවශ්‍ය සැලැසුම් සකස් කරමින්, තිදෙනකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණයෙන් පසුව ක්‍රමානුකූලව රට ගොඩනැඟීමට, ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට අප සහතික වෙනවා.

ජනාධිපතිවරණ වේදිකාවේදී ජාතික ජන බලවේගයට එරෙහිව සිටි කඳවුරෙන් මොනවාද නොකීවේ. හාමුදුරුවන්ට දානය නැති වෙයි කිව්වා. අවසන් පෝය කිව්වා. භීෂණයක් ඇතිවෙයි කිවව්ා. තවත් බොහෝ දේවල් කිව්වා. ඒ සියල්ල අසත්‍ය ප්‍රබන්ධ බව ගෙවී ගිය මාසය තුළදී තහවුරු වී හමාරයි. ජාතික ජන බලවේගයට එරෙහිව එම චෝදනා එල්ල කළ අයට අද රැස්වීමක් තියා ගන්න බැරිවෙලා. බොරු අහන්න කවුද එන්නේ. බොරු අහන්න ජනතාව සූදානම් නැති නිසා ඔවුන්ගේ අවලාද තුළම ඔවුන් සිරකරුවන් බවට පත්වෙලා.

මේ මහා මැතිවරණය කිසිදු තරඟයක් නැති, කම්මැලි ඡන්දයක් බව සමහර අය කියනවා. තරගයේ ඉන්නේ මාලිමාව විතරයි. නමුත්, මේ මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ලබාදෙන බව සහතිකයි. පසුගිය පාර්ලිමේන්තුව ගැන ජනතාවට තිබුණේ විරෝධයක්. රත්තරන් හොරනේ ගෙනැවිත් රේගුවේදී අහු වුණු අය පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් නීති හදන්න අත ඉස්සුවා. මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැන්නා. කුමන පිලේ ඉන්නවද කියලා ජනතාවට තේරුම් ගැනීමට බැරි විකෘතියක් ඇතිවෙලා තිබුණා. අවුරුද්දකට ආසන්න කාලයක් පාසල් දරුවන්ට පාර්ලිමේන්තුවට පැමිණීම නතර කර තිබුණා. එතරම් අප්‍රසන්න වී තිබූ පාර්ලිමේන්තුව විසුරුවාහැර ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා. නොවැම්බර් මාසයේ 14 වැනිදා තිබෙන්නේ ඡන්දයක් නොවෙයි, පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයක්. නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනයයි. පොළොන්නරුවේත් ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වීමට කැමැති වුණු අය ඡන්දයට ඉල්ලන්නෙත් නෑ. ඉතිරි වී සිටින අය පිරිසිදු කිරීමේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට පැවරී තිබෙන වැඩ කොටස ස්වේච්ඡාවෙන්ම භාර ගන්න ඕනෑ. පොළොන්නරුවට නායකත්වය දිය හැකි අදූෂිත, අවංකම කණ්ඩායම අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාගේම එහෙට මෙහෙට විකිණෙන්නේ නැති, පනින්නේ නැති කණ්ඩායම අප ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නම්, නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ මාලිමාවේ කණ්ඩායමෙන්. අපි එහෙම කියන කොට කට්ටියක් ශක්තිමත් විපක්‍ෂයක් හදන්න කතා කරනවා. මේ වෙලාවේ රටට තියෙන්න ඕනෑ බලවත්ම ආණ්ඩුවක්. වැඩ ගොඩක් කරන්න ඕනෑ. පියවරෙන් පියවර රට ස්ථාවර කිරීමේ සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කරන්න ඕනෑ.

දැන් රටේ හාල් හිගයක් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. කඩේ හාල් හිගයක් තිබුණට රටේ හාල් හිගයක් නැහැ. ඒ නිසා අපි සහල් මෝල් හිමියන් හමුවුනා. අපි කිව්වා ඔවුන් සමඟ අවබෝධයෙන් කටයුතු කරන්න සූදානම් කියලා. එයට එකඟ නැත් නම්, නීතියෙන් වැඩ කරන්න සූදානම් බවත් කියලයි තියෙන්නේ. සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර සහල් ඇටයක් ආනයනය නොකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කියනවා සෑම කුඹුරක්ම වගාකරන්න කියලා අපි ගොවි ජනතාවට කියනවා. ඒ වී මිලදී ගන්න අපි වැඩපිළිවෙළක් හදනවා. ගොවියට ශක්තිමත් ආදායම් මාර්ගයක් ලැබෙන ලෙස කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ පරිවර්තන කරන්න අපි සැලැසුම් කොට තිබෙනවා.
ඒ වාගේම විශ්‍රාමිකයන්ට, ‘අස්වැසුම’ ලබන්නන්ට, පාසල් යන දරුවන්ට අවශ්‍ය දීමනාවක් ලබා දීමේ සැලැසුම් සකස් කරනවා. ලංකාවේ පළමු වතාවට ගොඩනඟා තිබෙන ජනතාවාදී ආණ්ඩුව රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කරන්න ක්‍රියා කරමින් තිබෙනවා. අපි ඕනෑම තීන්දුවක් ගන්නේ මේ රටත්, ජනතාවත් ප්‍රමුඛ කොට තබාගෙනයි. අපේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. ඒ නිසා පරාජිත කණ්ඩායම් කලබලයට පත් වී ඔවුන්ගේ මුළු දේශපාලනයම කොළඹ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලට සීමා වෙලා තිබෙනවා. ඒ සියලු කතා දුකට කියන කතා පමණයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය ලබා දුන්නාට වඩා මහ මැතිවරණයේ දී ඡන්දය දෙන්න ජනතාව පෙළගැසෙමින් ඉන්නවා. දිනපතාම ජාතික ජන බලවේගය වටා විශ්වාසය තබමින් ජනතාව එකතු වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟා මිස ආපසු නොහැරෙන බව අවධාරණය කරනවා. දුප්පත්භාවයේ, අසරණභාවයේ පතුලට වැටී තිබෙන රට ඉන් මුදාගෙන ඉදිරියට ගෙනයාම සඳහා විද්වතුන් සහ වෘත්තීයවේදීන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ක්‍රියා කරමින් සිටිනවා. තමන්ගේ කටයුතු ඉටුකර ගැනීම සඳහා රජයේ කාර්යාලවල පෝලිම්වල ජනතාව රස්තියාදු නොකර සියල්ල ඩිජිටල්කරණය කර කාර්යක්‍ෂමව ඉටු කර දෙනවා. විදේශ රටක රුපියල් කෝටි ගණනකින් වැටුප් ගත් ඩිජිටල් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම විද්වතා ස්වේච්ඡාවෙන් රට ගොඩනැඟීමේ කාර්යට දායක වෙන්න තව සති කිහිපයකින් ලංකාවට එනවා.

වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම්දීම ‘වොයිස් කට්’ දීමේ නාටකයක් නොවෙයි. මේ වන විට ගොඩක් දේවල් සිදු කරමින් තිබෙනවා. නමුත්, වොයිස් කට් නෑ. වසා දමා තිබු ෆයිල් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. පිරිසක් කලබල වී සිටිනවා. ඒකට කියන්නේ හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනිනවා කියලා. වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරන්න ඒ වෙනුවෙන් තවත් ශක්තියක්, බලයක් තිබෙන පාර්ලිමේන්තුවක් ජාතික ජන බලවේගයට ලබාදෙන්න ඕනෑ. ජනතාවගේ පැත්තේ සිටගත්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව හඳුනන පිරිසක් අප ඉදිරිපත් කර සිටිනවා. ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනා අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙහෙළිය රඹුක්වැල්ල ආරක්‍ෂා කරන්න ඡන්දය දුන්නා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට සිටි මුදල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා අවස්ථාවේදීත් එම මුදල් ඇමැති ආරක්‍ෂා කර ගන්න ඡන්දය දුන්නා. පසුගිය පාර්ලිමේන්තුවේ හැම අවස්ථාවකදීම වාගේ අත උස්සා තිබෙන්නේ ජනතාවට විරුද්ධව. රසායනික පොහොර කප්පාදුව නතර කරන්න කියලා ගොවි ජනතාව කෑගහලා කියන කොට කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් හිටියේ ජනතාවට විරුද්ධවයි. නමුත් අපි දැන් ජනතාවගේ පැත්තේ ඉන්න පාලනයක් ගොඩනගා තිබෙනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා නොවැම්බර් 14 වැනිදා ශක්තිමත් බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජාතික ජන බලවේගයට ලබාදීමට කටයුතු කරන්න කියලා.

ඉදිරි අවුරුදු පහ තුළ දී මේ රටේ ජනතාවගේ ධෛර්ය වැඩි කරමින් රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යනවා
පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ටී. බී. සරත්

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩොලර් උල්පතක් කරගත හැකි සොබාදහමත්, පෞරාණික ශිෂ්ඨාචාරයත් එකට එක් වූ දිස්ත්‍රික්කයක්. එමෙන්ම සම්පත් ගණනාවකින් අනූන දිස්ත්‍රික්කයක්. ලංකාවේ පොහොසත්ම දිස්ත්‍රික්කය බවට පරිවර්තනය කළ හැකි වුවත්, අප දුප්පත් වී සිටින්නේ මෙතෙක් රට පාලනය කළ අයගේ වැරැදි ක්‍රියාමාර්ග නිසයි. මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අධිෂ්ඨානශීලීත්වය, ශක්තිය සහ ධෛර්යය මේ මහා වැසි මැදත් ඒ අභියෝගය දරාගෙන අපිත් එක්ක ඉන්න එකෙන් පෙන්වනවා. මේ සියලු දෙනාට දිස්ත්‍රික්කය ගොඩනැඟීමේ ධෛර්ය, ශක්තිය සහ ප්‍රඥාව තිබෙනවා. ඉදිරි අවුරුදු පහ තුළදී මේ රටේ ජනතාවගේ ධෛර්යය වැඩි කරමින්, රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යනවා. ඒ වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන්න අපේක්‍ෂකයන් අට දෙනෙක් ඉදිරිපත් කර සිටිනවා. වෛද්‍යවරුන්, කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවි නායකයා ඒ වාගේම ගුරු නායකයන්, ජීව විද්‍යා ගුරුවරයන්, නීතිඥවරයෙක් ඇතුළු පිරිසක් පොළොන්නරුවේ ජනතාව නියෝජනය කරන්න අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ පිරිසට අභියෝග කළ හැකි කිසිවෙක් මේ දිස්ත්‍රික්කය තුළ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරලා මාලිමාවෙන් පුරවන්න කියලා.

What's your reaction?

Related Posts

1 of 387

Leave A Reply

Your email address will not be published. Required fields are marked *