බදුල්ල මහියංගණ මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත් වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) සිදු කෙරුණා.
ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේයි.
මේ අතර, අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් ද යන්න සොයා බැලීමට රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයන අංශයේ සිසුවියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් බදුල්ල – පස්සර මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී පෙරළී අනතුරට ලක් වුණේ පසුගිය 01 වැනිදායි.
අනතුරින් තුවාල ලැබූ 41 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වනවිටත් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ජීවිතක්ෂයට පත් වූ පුබුදි හෙට්ටිමුල්ල නමැති 23 හැවිරිදි සිසුවිය කුරුණෑගල, අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටියා.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.
ඉසුරි උමයංගනී නමැති 23 හැවිරිදි සිසුවියද මෙම අනතුරින් මියගිය අතර, ඇය රත්නපුර නිවිතිගල පදිංචිව සිටියා.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ද අද පස්වරුවේයි.
මේ අතර, බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ, තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ සිටි තුවාලකරුවන් දස දෙනාගෙන් තිදෙනෙකු මේ වනවිට සාමාන්‍ය වාට්ටු වෙත මාරුකර ඇති බවයි.
බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවට විශ්වාස කරන බව, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කෙසේ වෙතත් අනතුර සිදු වූයේ කාර්මික දෝෂයකින් ද නැත්නම් රිය ධාවනයේදී සිදු වූ අපරික්ෂාකාරී හේතුවකින් ද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
අනතුරට නිශ්චිතම හේතුව සොයා බැලීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති බව, හිරු ප්රවෘත්ති කළ විමසීමකදී බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, එමෙන්ම අනතුරට ලක් වූ බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හෙට බදුල්ල පොලිසියට පැමිණීමට නියමිත බවයි.