මීරිගම එකම පවුලේ තුන්දෙනෙකු ඝාතනය කෙරේ

එකම පවුලේ තුන්දෙනෙකු ඝාතනය කළ පුවතක් මීරිගම – මාලදෙණිය – සිතලවලාන ප්‍රදේශයෙන් වාර්තාවුණා.

අද අලුයම මෙලෙස ඝාතනයට කර තිබුණේ 80 හැවිරිදි වියේ පසුවන පියා, 79 හැවිරිදි මව සහ ඔවුන්ගේ 42 හැවිරිදි පුත්‍රයායි.

ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඝාතනයට ලක්වූවන්ගේ ඥාතියෙක්.

42 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හලාවත – බංගදෙනියේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පියාගේ වැඩිමහල් සහෝදරයාගේ දියණියක් සැකකරු විවාහ කරගෙන සිටින අතර, ඔහු සිතලවලාන ප්‍රදේශයට පැමිණ ඇත්තේ ඔහුගේ බිරිඳගේ මව එම ප්‍රදේශයේ පදිංචිව සිටීම හේතුවෙන්.

පාපැදියක් තල්ලු කරගෙන මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිළිබඳව නාල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි නිලධාරීන් පිරිසකට සැක මතුවී තිබෙනවා. එහිදී එම නිලධාරීන් මෙම පුද්ගලයා පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, රත්‍රං මාලයක්, මුදු දෙකක්, කටර් අඩුවක් සහ කතුරක් සොයාගෙන තිබුණා.

පසුව මෙම පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව සැක සිතූ නිලධාරීන් ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා. එහිදී මෙම පුද්ගලයා සතුව තිබූ මුදල් අතර සඟවා තිබූ වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හඟවන කාඩ්පතක් හමුවී ඇති බව සඳහන්.

මෙම පුද්ගලයාගේ ප්‍රකාශ ද පරස්පර වූ හෙයින් අදාළ කාඩ්පතේ සඳහන් නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් තීරණය කර තිබෙනවා.

එම නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එහි පිටුපස දොර කඩා ඇති බවයි. පසුව පොලිස් නිලධාරීන් නිවස තුළට ගොස් විමර්ශනය කිරීමේදී ආලින්දයේ තිබී මියගිය 42 හැවිරිදි පුත්‍රයාගේ සිරුර හමුවී තිබෙනවා.

තවදුරටත් පරීක්ෂා කිරීමේදී කාමර තුළ තිබී ඝාතනයට ලක්වූ මවගේ සහ පියාගේ සිරුරු හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සඳහා මෙම මව, පියා සහ පුත්‍රයා ගෙළ සිරකර ඝාතනය කළ බවටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *