මීළඟ ICC සභාපති කවුද? – දැනටමත් ‍රහස් සාකච්ඡා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ වත්මන් අයිසීසී සභාපති ග්‍රෙග් බාර්ක්ලේගේ ධුර කාලය එළඹෙන නොවැම්බර් 30 වැනිදා අවසන් වීමත් සහ ඔහු තෙවැනි ධුර කාලයක් සඳහා නැවත අයදුම් කිරීමක් නොකරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

අදාළ තනතුර ජේ ෂාට හිමිවනු ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ඒ පිළිබඳව පැවැති සාකච්ඡා පිළිබඳව මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ මේ සඳහා වන රහස් සාකච්ඡා මේ වන විටත් පැවැත්වී ඇති බවයි.

තව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ජේ ෂාට අදාළ තනතුරට පත් වීම සඳහා ඔස්ට්‍රෙලියානු ක්‍රිකට්, එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් පරිපාලනය සහ අනෙකුත් පූර්ණ කාලීන සාමාජිකයින්ගෙන් සහාය ලැබෙනු ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජේ ෂා පාර්ශ්වය හෝ ICC වෙතින් නිල තහවුරු කිරීමක් තවමත් නිකුත් නොවී ඇති අතර එම තනතුර සඳහා නිල නාමයෝජනා ගොනු කිරීමේ අවසන් දිනය අගෝස්තු 27 වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇති බවයි.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයෙකුගේ ධුර කාලය වසර දෙකක් වන අතර ඔහුට වාර තුනක් ඒ සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් පවතිනවා.

මේ වන විට අදාළ තනතුර දරණ ග්‍රෙහ් බාර්ක්ලේ නවසීලන්ත නීතිඥයෙකු වන අතර ඔහු වසර හතරක් පුරාවට අයිසීසී සභාපති ධුර කාලය හොබවමින් සිටී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *