රට යන්න ඉල්ලු අර්ජුන ඇලෝසියස් පෙත්සම ඉල්ලා අස්කර ගනී

රජයට මිලියන 667ක අලාභයක් සිදුකළ 2015 පෙබරවාරි 27 වනදා පැවැත්වූ පළමු බැඳුම්කර වෙන්දේසි වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 4 වන විත්තිකාර අර්ජුන ජෝෂප් ඇලෝසියස් විදේශ ගතවීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා ගොනුකර තිබූ මෝසම අද (06) දින ඉල්ලා අස්කරගන්නා බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නා.

සිය සේවා දායකයාට නව ඔස්‍ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ සම්මුඛ පරීක්ෂණය අද දිනයේ පැවැත්වෙන බවත් දමිත් තොටවත්ත, නාමල් බලල්ලේ සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට නීතිපතිවරයා පෙන්වා දුන්නා.

නව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් පත්‍රය ලබාගැනීමෙන් පසුව අධිකරණය විසින් මේ වනවිට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා නැවත මෝසම් පත්‍රයක් ගොනුකිරීමට පියවර ගන්නා බවද නීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

සිය සේවා දායකයා අධ්‍යක්ෂ ධුරය දරණ සමාගම් දෙකකට එරෙහිව ආදායම් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පැවරීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඉහළ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇතැයිද ඔහු කියා සිටියා.

මෝසම් පත්‍රය ඉල්ලා අස් කරගැනීම සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

අර්ජුන ඇලෝසියස්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති එම නඩුව ලබන ජූලි මස 1 වනදා යළි කැදවීමටද විනිසුරු මඩුල්ල දින නියම කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *