‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී කුරුණෑගල දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.08 – සත්‍යවාදී පිටිය

රට අස්වද්දන්න වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු
ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි

පිං කරනවා කියන්නේ තමන්ගේත් අනුන්ගේත් යහපතට කරන කටයුත්තක්. බෞද්ධයන් හැටියට අපි විවිධ පිංකම් කරනවා. මේ දවස්වල අපි විශේෂයෙන් කඨින පිංකම් කරනවා. ජනාධිපතිවරණයට කලින් සමහරු කීවේ මාලිමාව යටතේත් කඨින පිංකම් කරන්න වෙන්නේ නැහැ කියලා. අපි මේ අවස්ථාවට සහභාගි වෙන්නේ කඨින පිංකම් අවසන් කරලා. ඒ විවිධ පිංකම් අතරේ අපි හැමෝම එක්වී සැප්තැම්බර් 21 වැනිදා විශාල පිංකමක් කළා. මේ රට යහපත් දිසාවකට ගමන් කරවිය හැකි ජනතාවාදී නායකයෙක් පත්කර ගැනීම ඒ මහඟු පිංකමයි. එහි ප්‍රතිඵලයක් හැටියට මේ මාස් කන්නයේ කුඹුරු අස්වද්දන අතර, මුළු රටම අස්වද්දන්නත් ඕනෑ. දුසිරිත නැතිකරලා හොරකම, දූෂණය, වංචාව නැති කරලා හැමදෙනාටම සමාන වූ අයිතිවාසිකම් හා යහපත් වූ සමාජයක් හදන්න රට නමැති කුඹුර අස්වද්දන්නත් ඕනෑ.

ඒ වෙනුවෙන් අපව නියෝජනය කරන අපේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙන්නේ ඇත්ත, හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ 18 දෙනාගෙන් සුදුසු කෙනෙකුට මනාපය ලබාදී පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා සිටිනවා. මේ රට අස්වද්දන්න මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන අතරේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් යැවීමට සියලු දෙනාටම යෝධ බලය, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

යුක්තිය වෙනුවෙන් සිදු වන දැවැන්ත පරිවර්තනය සමග එක්වීම මුස්ලිම් ජනතාවගේ වගකීමක්
නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා

ජාතික ජන බලවේගයට මුස්ලිම් සමාජයේ සහයෝගය ලබාදිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රධාන උත්තර දෙකක් තිබෙනවා. මුස්ලිම් සමාජයේ සියලුම අය සියලුම අවස්ථාවලදී යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන දේ අල් කුරානයේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ආගමෙන් එවැනි නියෝගයක් ලැබුණු සමාජයක් කිසිදු විටෙක අයුක්තිය හෝ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා යුක්තිය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවන අවස්ථාවේ ඒ සමග එක්වීම මුස්ලිම් අපගේ දැවැන්ත වගකීමක් වී තිබෙනවා. ඒ නිසා මෙරට මුස්ලිම් සමාජය අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය සමග එක්විය යුතු බව මම ඔබ හමුවේ කියා සිටිනවා.

ජාතික ජන බලවේගය සමග මුස්ලිම් සමාජය එක්විය යුතු දෙවැනි කරුණ, වී තිබෙන්නේ රට ඉදිරියට ගෙනයන ගමනේදී කිසිදු කොන්දේසියක් නොමැතිව අපගේ සහයෝගය ලබාදිය යුතු නිසයි. එම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහා මැතිවරණයේදී තරග වදින ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

අපේ දරුවන්ට පැහැබර අනාගතයක් ලබාදීම වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕනෑ
අදිටන සාමූහිකයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර

අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනා අපට ශක්තියක්. එළඹෙන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවට මේ එකතු වී සිටින ජනතාව දැක්කාම ස්ථිර වෙනවා. අපේ රටේ දුවා දරුවන්ට නව පැහැබර අනාගත කාල පරිච්ඡේදයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් පිහිටුවන්න ඕනෑ.

දේශපාලන භූමියේදී අනෙකුත් කණ්ඩායම් ජනතාව රවටමින් අසත්‍ය ප්‍රචාර ගෙනයන අතර, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුන් ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින තරමට අසරණ වී සිටිනවා. ඔවුන් ශක්තිමත් විපක්ෂයක් ඉල්ලන්නේ දූෂිත ප්‍රභූවාදී දේශපාලන සංස්කෘතියේ කාලය අවසන් බව දන්නා නිසයි. නමුත් ගිලිහී යන වරප්‍රසාද රැකගන්න ශක්තිමත් විපක්ෂයකින් හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙවර මහා මැතිවරණයේදී ජනතාව ඔවුන්ට ප්‍රබල පාඩමක් උගන්වනවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පොළොවේ පය ගසා සිටින හොඳම කණ්ඩායමක් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කිරීම නිසා ඔවුන් තවදුරටත් බංකොලොත් වී සිටිනවා. ජනතාවගේ බදු මුදල්වලින් අනිසි සුඛවිහරණයන් ලබාගත් දේශපාලනය අවසන් කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳව සිහිනය යථාර්ථයක් කර ගන්න අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල තරුණයන් පිරිසක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සටනේදී මිය ගියා. අපගේ දෙවන මෙහෙයුමේදී එම කැපකිරීම රට ගොඩනැගීමට යොදවමු කියලා ඉල්ලා සිටිනවා.

අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම ඇරඹෙනවා
ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නීතිඥ සංගමයේ විධායක සභික නීතීඥ ගීතා හේරත්

නිදහස ලබා ගත් පසු 76 වසරක් රට පාලනය කළ පිරිස් කඩා වැට්ටූ රට ගොඩ ගත හැකි බවට විශ්වාසය සියලුම ලාංකිකයන් තුළ දැන් තහවුරු වී තිබෙනවා. දූෂිත ප්‍රභූ දේශපාලනය අපට උරුමකර දී තිබෙන්නේ සියලු ක්ෂේත්‍රවලින් කඩා වැට්ටූ රටක්. එය ගොඩනැගිය හැකි බව විශ්වාස කරන ජාතික ජන බලවේගය ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. තව දින කිහිපයකින් පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම වෙනුවෙන් ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතු වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කර, මෙතෙක් කාලයේ වැලිතලාවට යටකර තිබූ දේශපාලන අපරාධ විමර්ෂණය කළ යුතු වෙනවා. අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම එයින් ආරම්භ කරනවා. අපි දුප්පත් වී ඉපදුනත් ඒ ලෙසම ජීවත් වී මිය යා යුතු නැහැ. ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පය ඉටුකර ගන්න ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඔබ සියලු දෙනාට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය පියවර ගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තුළින් පමණයි
ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍ය සාමූහිකයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ජගත් ගුණවර්ධන

අද වන විට රෝහල් තුළ වෛද්‍ය සහ බරපතළ ඖෂධ හිඟයක් පවතිනවා. ඒ වගේම රසායනාගාර පහසුකම්, සහ පරීක්ෂණවල බරපතළ අඩාල වීම් දිනපතාම වාර්තා වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 3%ක් වත් සෞඛ්‍යයට යොදවන්න ඕනෑ. අපේ ඉදිරි ක්‍රියාමාර්ග තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සාධනීය පියවර ගණනාවකින් ඔසවා තැබීමේ සැලසුම් සකස් කර අවසන්. ඒ වගේම ජනතාවට පහසුවෙන් ඖෂධ ලබා ගන්න රාජ්‍ය ඔසුසල් සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරන්නත් ක්‍රියා කරනවා. ඒ වගේම පවුලේ වෛද්‍යවරයෙක් හඳුන්වාදීමේ ක්‍රියාමාර්ගයත් ඊට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පිහිටුවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට මුල්තැන දෙනවා. මෙවැනි සාධනීය කරුණු බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදීමෙන් පමණයි.

ජනාධිපතිවරණයේදී අපිට ලැබුණු බහුතර බලය මහ මැතිවරණයෙන් 60% ඉක්මවා ගොස් මේ වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දිය හැකියි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් අය ඒකරාශී කර ගනිමින් විශාල ගමනක් යන්න තිබෙනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.

අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ වගකීම් ඉටුකරන්න අපි සියලු දෙනා බැඳී සිටිනවා
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල

දීර්ඝ කාලයක් අපේ රටේ ගොවියා, ධීවරයා, කම්කරුවා, වෘත්තිකයා ආදී වශයෙන් මෙන්ම තරුණ සහ කාන්තාවන් වශයෙන් නොසැලෙන වීර්යයෙන් යුතු මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවි පවුලක පුතෙකු අපේ ජනාධිපති ලෙස පත්කර ගන්න හැකි වුණා. මේ රටේ දැවැන්ත දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් දැන් මුල පුරා තිබෙනවා. අපි ඔබට ලබාදෙන්නේ පොරොන්දු නොවෙයි. අපි පවරා ගත් වගකීම් පිළිබඳව ප්‍රතිපත්ති පමණයි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඒ වගකීම් දැරීම වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමයක් හැටියටයි. අපේ අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් වගකීම් ඉටකරන්න මේ සියලු දෙනා බැඳී සිටිනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.

ලබන ජනවාරි මාසයෙන් පසුව පාසලට ඇතුල්වෙන කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් පිටමං නොවන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මූලික වගකීම ලෙස සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගෙන් 80%ක් දෙනා නියැලී සිටින කෘෂිකර්මාන්තය ලාභදායී තත්වයකට ගෙනැවිත් රටේ ජනතාව වෙත ගුණාත්මක ආහාර ලබාදීම සහතික කරනවා. දූෂිතයන් සහ මූල්‍ය අපාරධකරුවන් පැහැරගත් ජනතාවගේ සෑම රුපියලක්ම ආපසු අයකර ගැනීම වෙනුවෙන් දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. අවසාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම අපේ පාලනය තුළ යථාර්ථයක් බවට පත්කරනවා ඒ වෙනුවෙන් රටට ජයග්‍රහණ ගෙන එන පාර්ලිමේන්තු බහුතර බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

අවුරුදු 76ක් රට කාපු අයගේ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න

ඇදහැලෙන මහා ධාරානිපාත වර්ෂාව හමුවේත් නොසැලී සිටින ජනතාව මහා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව දැනටමත් තහවුරු කර අවසන්. අපේ විරුද්ධවාදීන් මේ වන විට සහල් මිල ඉහළ යාම ගැන කතා කළත් අපේ ජනාධිපති සහෝදරයා වැඩ බාර ගන්නකොට රජයේ වී ගබඩාවල වී ඇටයක්වත් තිබුණේ නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් ටික දෙනෙක් පොහොට්ටුවෙන් සහ සජබෙන් ඡන්දය ඉල්ලන අතර, ඔවුන් ළඟ වී තොග රැස්කරගෙන තිබෙනවා. එන මහ කන්නයේ අස්වනු නෙලීමේ සිට රජයේ වී ගබඩා පුරවා ගොවියාට සාධාරණ මිලක් ලබාදී පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදෙන ස්ථාවර ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මෙන්ම මහා පරිමාණ මෝල් හිමියන් සියලු දෙනාත් සහල් ව්‍යාපාරය තුළ සිටිය යුතුයි. නමුත් කිසි කෙනෙකුට ජනතාව පීඩාවට පත්කිරීමේ බඩ පිනුම්, හිටි පිනුම් ගහන්න දෙන්නේ නැහැ. ඊට අදාළ සැලසුම් අපි සකස් කර තිබෙනවා. වී නිෂ්පාදන වියදම අඩුකර සහල් නිෂ්පාදන පිරිවැයත් අඩු කරනවා. ඊට පසුව සහල් වෙනුවෙන් පාලන මිලක් නියම කරනවා. ඒ ආකාරයටම එළවළු ගොවියාත්, ළුෑණු ගොවියා වගේම පශු සම්පත් ගොවියා වෙනුවෙනුත් නිසි විද්‍යාත්මක සැලසුම් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩපිළිවෙළ සකස් කරගෙන යන අතරේ සතුරු බලවේග ජනතාව නොමඟ යැවීමේ ප්‍රචාර දියත් කර තිබෙනවා. අපි මේ පටන් ගත්තා විතරයි. අවුරුදු 76ක් රට කාපු අය අපට ඇඟිල්ල දික්කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ.

කාබාසිනියා කර තිබූ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ලාභ ලබන්න පටන් ගත්තා පමණක් නොවෙයි, කිරි නිෂ්පාදක ගොවි මහත්වරුන්ට නිසි වෙලාවට මුදල් ගෙවන්නත් කටයුතු කර තිබෙනවා. බංකොලොත් කර විකුණන්න දමා තිබු මිල්කෝ ආයතනය 2004 අනුර සහෝදරයා කෘෂිකර්ම ඇමතිවරයා ලෙසට සිටි කාලයේ ලාභ ලබන්න පටන් ගත්තා. ඒ ලාභවලින් කොටසක් කිරි ගොවියන්ටත් ලබාදුන්නා අන්න ඒ ආකාරයටම වර්තමානයේදී මිල්කෝ ආයතනය ඉන්දියාවේ ‘අමුල්’ සමාගමට විකුණන්න සැලසුම් කර තිබීම පරාජය කර, ලාභ ලබන තත්ත්වයට ගෙනත් තිබෙනවා. ඒ ආකාරයට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ ලබා ගන්න දැනටමත් මුල පුරා තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන්න තිබුණු සියලු සැලසුම් නවත්වා ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ගන්න ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් සුවිශේෂී අපේක්ෂක කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මහ මැතිවරණයට මාලිමාව යටතේ ඉදිරිපත් කර සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ කවුරු යැව්වත් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. මහ මැතිවරණයෙන් මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න එක්වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *