‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී අනුරාධපුර දිස්ත්‍රික් ජනතා රැලිය

අපට ලැබී තිබෙන රට නමැති කෙත නිවැරදිව අස්වද්දන්න ඕනෑ
ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය පානමුරේ චන්දිම හිමි

අනුරාධපුර නගරයෙන් අවුරුදු 1007කට පසුව මේ රටට පාලකයෙක් බිහිවෙලා තිබෙන අවස්ථාවක්. ඒ පාලකයාගේ සහායට අවශ්‍ය පිරිවර, හදා දෙන මේ අවස්ථාවේ ආමන්ත්‍රණය කරන්නට ලැබීම භාග්‍යයක්. අවුරුදු 74ක තරම් කාලයක් මේ රට පාලනය කළ පාලකයන් මේ රට ඇද දමා තිබෙන තැන අපි දන්නවා. රටේ පාලකයා අධාර්මික වෙනවිට, රටේ පුරවැසියන් අධාර්මික වෙනවා. මෙතෙක් රට පාලනය කළ බහුතරයන් අධාර්මිකයන්. ඒ නිසා අපට පුනරුද යුගයේදී අපේ උරමත විශාල කාර්ය කොටසක් පැවරී තිබෙනවා. ඒ කාර්යයන් මොනවාද යන්න අපි තේරුම් ගන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳ රටක් හදන්න, රට ගොඩනඟන්නට අපි පෙරමුණ ගන්නට ඕනෑ.

අපි හාමුදුරුවරුන් හැටියට අපව පෝෂණය කරන්නේ ඇප උපස්ථාන කරන්නේ ඔබතුමන්ලා. ඒ සියලු ආකාරයෙන් උදව් කරන ඔබට ලෙඩ වුණාම බෙහෙත් ටිකක් ගන්න නැතිනම්, අධ්‍යාපනයක් ලබන්න තැනක් නැතිනම්, ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැතිනම්, ඇස්කන් පියාගෙන තවදුරටත් සිටින්නට අපට පුළුවන්කමක් නැහැ. එනිසා අපෙන් සිදුවිය යුතු වගකීමක් ලෙස හඳුනාගෙන එම යුතුකම ඉටුකිරීමට අපි ඉදිරිපත් වී සිටිනවා. බුදුරජාණන් වහන්සේ “බහුජන හිතාය, බහුජන සුඛාය” කියා දේශනා කොට තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනාට හිතසුව පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස අපේ චර්යාව හදාගන්න ලෙස අපට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා තමයි ඔබ හමුවී මේ ඉල්ලීම කරන්නේ. අපට ලැබී තිබෙන රට නමැති කෙත නිවැරදිව අස්වද්දන්න ඕනෑ. ඔබ කෙත් අස්වද්දන මිනිස්සු. කෙත නමැති රට ස්වයංපෝෂිත කරලා මේ රට දියුණු රටක් බවට පත්කරමු. රටේ අනාගත දරුවන්ට යහපත් රටක් උදාකරන්නට අපි වෙහෙස වෙමු. රජරට මිනිසුන් හැටියට අපට වගකීමක් තිබෙනවා. රජරට පුරවරයෙන් බිහිවුණු නායකයාට වැඩ කරගන්න සුදුසුම පුද්ගලයන් මාලිමාවේ ඉන්නවා. ඒ සුදුසු අය පාර්ලිමේන්තුවට යවමු. තව දින තුන හතරකින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් ලැබේවා.

සකස් කළ බිමේ බීජ සිටුවීමට සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි
රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඩී.එම්.කේ. පලිහේන

අද අනුරාධපුර සල්ගාදු පිටිය එකම හිස්ගොඩක්. අනාගතය ගැන සිතමින් මෙතනට පැමිණ සිටින ඔබ දරුවාගේ අනාගතය ගැන සිතමින්, හෙට දවස ගැන යහපත් සිතිවිල්ලෙන් අපත් සමග එක්වී සිටිනවා. වැඩ කරන, වෙහෙසෙන ජනතාව ඒ අපේක්ෂාව තුළ මේ භූමිය ඵල දරවන්න සූදානම් වෙමින් ඒ සුදුසු කණ්ඩායම නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී විශාල ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තෝරා යවන බව විශ්වාසයි. ඔබේත් අපේත් දායකත්වයෙන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් නව දෙනෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ බීජය හිටවලා සාත්තු කොට පවත්වාගෙන යන්න, මේ අවුරුදු පහ තුළ ඒ සම්බන්ධයෙන් වෙහෙසන්න, අවශ්‍ය ජවය ශක්තිය සහිත කණ්ඩායම අනුරාධපුරයෙන් තෝරා ගත යුතුයි. හැකි තරම් මේ දින කිහිපයත් වෙහෙසෙමින් මේ අවුරුදු පහක කාල පරිච්ඡේදය තුළ මේ ගොවිබිම අස්වද්දලා හොඳ ඵලයක් මේ රටට ලබාදෙන බවට මේ පැමිණ සිටින ජනතාව සහතික වෙනවා.

ඒ වගේම මහජන නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුව තුළ, ඔබ වෙනුවෙන් ගත යුතු හොඳම තීරණ අරගෙන, මේ රටට යහපත් හෙට දවසක් සාර්ථකව ගෙවන්න පුළුවන් සමාජ ක්‍රමයක්, මේ රට තුළ බිහිකරන බවට අපි පොරොන්දු වෙනවා. ඒ සුන්දර වුවමනාව වෙනුවෙන් මෙතෙක් අප සමග අත්වැල් බැඳගත්, මෙතෙක් අපේ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධ නොවුණු ආදරණීය ජනතාවගෙන් මේ රටේ අභිවෘද්ධියට අපි සියලු දෙනාම එකතු වෙමුයි ඉල්ලනවා. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය පතනවා.

ජාතික ජන බලවේගය පිළිබඳව මවා තිබුණු වැරදි කතා සියල්ල දිය වී ගොස් තිබෙනවා
ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්

අනුර දිසානායක සහෝදරයා වරෙක කිවුවා ජනාධිපතිවරණය කෙසේ හෝ ගොඩදා ගත්තොත් ඊළඟට වැඩේ සිදුවෙන්නේ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ කියලා. තව දවස් තුනකින් හතරකින් මේ මහ වැස්ස පිරිලා කලාවැව, රාජාංගනේ, පදවිය, නාච්චාදූව වැව් සියල්ලම වාන් දමනවා වගේ මේ සියලු දෙනා එකතු වෙලා අනුරාධපුරය ජයග්‍රහණය කරන බවට විශ්වාසය අප තුළ තිබෙනවා.
මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය පිළිබඳව මවා තිබුණු නරක, වැරදි කතා සියල්ල දියවෙලා ගොස් තිබෙනවා. අද ජනතාව තුළ ජාතික ජන බලවේගය මොන වගේ ව්‍යාපාරයක්ද කියන එක මේ රටේ ස්ථාපනය වෙලා ඉවරයි. අපව විශ්වාස නොකළ, පිළිනොගත්ත බොහෝ සහෝදර සහෝදරියන්, අපේ ආදරණීය මිනිස්සු ජාතික ජන බලවේගය වටා එකතු වී තිබෙන නිසා තමයි මේ ග්‍රවුන්ඩ් එක අතුරු සිදුරු නැතිව පිරී තිබෙන්නේ. මේ එකතු වී තිබෙන්නේ අනෙකාට විරුද්ධව නොවෙයි.

මෙතන ඉන්නේ බහුතරයක් ගොවියන්. ඒ අය හමුවුණාම අපට කිවුවා “කන්නෙ පටන් ගන්නෙම ප්‍රශ්නයකින්” කියලා. පසුගිය කාලයේ පටන් ගත්තේ බීජ ප්‍රශ්නයකින්. මේක කෙළවර වෙන්නේ ග්‍රාමීය දුප්පත්භාවයෙන්. මගේ වෘත්තිය කටයුතුවලදී මේ ආදරණීය මිනිසුන් මුණගැසී තිබෙනවා. ඔහුන්ගේ ප්‍රශ්න යටම තිබෙන්නේ දරිද්‍රතාවය. මෙතෙක් පාලකයන් දරිද්‍රතාවයට පැලැස්තර විසඳුම් සෙව්වා. අපරාධ වැඩිවෙන විට පොලීසියක්, අධිකරණයක් දැම්මා. ඒ යටම තිබෙන ප්‍රශ්නය, දරිද්‍රතාවය ගැන සෙව්වේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම තුළ, විරැකියාව වැඩිවෙන කොට, සමාජ ජීවිත සම්බන්ධ ප්‍රශ්න මතුවෙන කොට එය කෙළවර වෙන්නේ දරිද්‍රතාවයෙන් බව ඔවුන් දැනගෙන සිටියේ නැහැ. එය කෙළවර වෙන්නේ ගෙදරක ආර්ථිකය කඩා වැටීමෙන් පමණක් නොවන බව ඔවුන් දන්නේ නැහැ. එය සමාජ කඩා වැටීමකට බලපානවා. මගේ වෘත්තිය කටයුතුවලදී මේ අනුරාධපුර ජනතාවගේ ප්‍රශ්න යටම තිබෙන්නේ දරිද්‍රතාවය බව මම දකිනවා.

මේ කඩා වැටුණු රට ගොඩනගන්න අපිට තිබෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න. ගමක් ගමක් ගානේ ගොස් අපිත් සමග එකතු නොවුණු අපේම පංතියේ, සහෝදරවරු එක්ක කතා කරමු. ජාතික ජන බලවේගය වටා එකතු කර ගැනීමට මහන්සි වෙමු. ඉන්පසුව කඩා වැටුණු මේ රට ගොඩනැගීම ආරම්භ කරමු.

අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් ඉහළම තැනට යන්න මාලිමාවට කතිරය ගහන්න
ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික, මැදවච්චිය මුස්ලිම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මුබාරක් මවුලවි

එදා සිට පත්වුණු ජනාධිපතිවරු අපට කිවුවේ සිංප්පූරුව වගේ රටක් හදනවා කියලා. එහෙම හදන්නේ කොහොමද? ඔවුන් පටන් ගන්නේ ජාතිය භේද කිරීමෙන්. ජාතිභේද වපුරලා ඡන්දෙ අරගෙන දිනනවා. සිංගප්පූරුව ගොඩනැගුණේ ජාති භේද, ආගම් භේද නැතිව සියලු දෙනා එකතු වෙලා. අද ලෝකයේ සිංගප්පූරුව දියුණු රටක් ලෙස පිළිගෙන ඉවරයි. අපේ රටේ සිංගප්පූරුවක් හදන්න ආපු අය, අපේ රට ඇමරිකානු කොලනියක් කළා. ඊටත් පහළට තල්ලු කළා. අපිට දැන් කාලය උදාවෙලා තිබෙනවා. අපි ඔක්කොම එකතු වෙමු. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව ලාංකිකයන් ලෙස ඔක්කෝම එකතු වෙමු. එළඹෙන නොවැම්බර් 14 දායින් පස්සේ “අපි ශ්‍රී ලාංකිකයන්” කියා ආඩම්බරයෙන් කියමු.

ලෝකයේ වෙනත් රටවල දේශපාලන භේද නැහැ. දිනුව ජනාධිපතිට පරාජය වුණු දේශපාලන නායකයන් උදව් කරනවා. අපේ රටේ එහෙම නැහැ. මම එදා කිවුවා මාලිමාවේ බස් එකට නැග්ගොත් හරි පාරේ ගොස් පෙන්නවා කියලා. සජබෙ බස් එකේ ගිය අයව වට්ටවා තිබෙනවා. තුවාල වුණු අයට දැන් අවස්ථාවක් උදා වී තිබෙනවා. එන්න අපේ බස් එකට. ආරක්ෂා ඇතිව අපේ බස් එක නැවතත් පිටත් වෙනවා. අපේ බස් එකේ නියමුවා, හොඳ හයියක්, හොඳ මොළයක් තිබෙන ශක්තිමත් නායකයෙක්. බය නැතිව අපේ බස් එකට ගොඩවෙන්න. ඔබලා නොවැම්බර් 14දා මාලිමාවේ ලකුණට කතිර ගසමින්, පත් කරන්නේ රජෙක් නොව, ඔබලාගේ සේවකයන්. ඔබ සියලු දෙනා සුරක්ෂිතව, අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් ඉහළම තැනට ගෙනයන්න මාලිමාවට කතිරය ගසමින් දිනවන්න.

ශක්තිමත් පාලනයක් තුළින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට දායක වෙමු
ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත

අපි දේශපාලන වෙනසක් ඇති කිරීමට එක මෙහෙයුමක් අවසන් කරලා, දෙවෙනි මෙහෙයුම සඳහා සූදානම් වෙමින් ඉන්නවා. මේක අපේ රටේ සැබෑ පුනරුදයක්, නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් සතුටින් ජීවත් වෙන්නට රටක් හදන්නට මුල පුරමින් තිබෙන අවස්ථාවක්. ජාතික ජන බලවේගය කාන්තා අපි වෙනුවෙන් කතා කරන්නට, බිමේ සිටින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට, අපේක්ෂිකාවක් විදිහට ඔබ සියලු දෙනා නියෝජනය කරන්නට අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් මා හට වගකීම පවරා තිබෙනවා. මේ රජරට ඉන්න කාන්තාව තම ස්වාමියා සමග එකතු වී මහපොළොවත් එක්ක පොරබදමින්, තම ජීවිතය සාර්ථක කර ගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම විවිධ කම්කටොලුවලින්, ගැටලුවලින් පීඩා විඳිනවා. මෙතෙක් දේශපාලනයේ නියැලුණු මහජන නියෝජිතවරියන් අපේ ගැටලු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ කාන්තාවන් පිය උරුමය නිසා හෝ පවුල් උරුමය නිසා දේශපාලනය කළ අයයි. අපි වගේ අය සාමාන්‍ය පවුල්වලින් ඇවිත් මේ දේශපාලන වේදිකාවේ ඔබ වෙනුවෙන් හඬක් නඟන්නට ඉඩහසර ලබාදීම පිළිබඳව ජාතික ජන බලවේගයට කෘතවේදිත්වය පිරිනමනවා. ඉදිරියේ පවත්වන මහ මැතිවරණයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්නට, රට මුහුණ දෙන ගැටලුකාරී අවස්ථාවල පෙරමුණ ගන්නවා වගේම කාන්තා අපි සියලු දෙනාම එකතු වෙලා ශක්තිමත් පාලනයක් හදලා මේ රට ගොඩගැනීමට රට ගෙනයන වැඩපිළිවෙළට දායක වෙමු කියන ඉල්ලීම කරනවා.

ලෝකයේ බොහෝ රටවල්වල දරුවෙක් ඉපදෙනකොට දීමනාවක් දෙනවා. අපේ රටේ දරුවෙක් ඉපදෙනකොට ලක්ෂ ගණන් ණය වෙලා ඉපදෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපන බර නිදහස් කරලා, ඔවුන්ට සංස්කෘතික මිනිසෙකු ලෙස ගොඩනැගෙන්නට අවශ්‍ය කරන වටපිටාව හදන්න ජාතික ජන බලවේගයේ පාලනයක් ක්‍රියා කරන බවට ඔබ ඉදිරියේ සපථ කරනවා. මම නියෝජනය කරන අදිටන සාමූහිකය සමන්විත වන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ඒ වීරෝදාර රණවිරුවන්ගෙනුයි. ඔවුන් තමන්ගේ ජීවිතයේ තරුණ වියෙන් වැඩි කොටසක් කැප කරලා, කොටසක් ආබාධිතයන් බවට පත්වෙලා, දහස් ගණනක් තරුණ ජීවිත පූජා කරලා, මේ රට බේරා දුන්නා. මේ රට මුදා ගන්න බැහැ කියා ලෝකයා කියද්දී, එකා පිට එකා වැටෙමින් මිය යද්දී තම ගමන එකට ගිහින් ජයග්‍රහණය ලබාදුන් මේ රට, දේශපාලකයන් විනාශ කරන්න හදන නිසා තමයි ජාතික ජන බලවේගය වැනි පිරිසිදු දේශපාලනයක් එක්ක එකතු වෙලා මේ ගමන යන්න තීරණය කළේ. නොවැම්බර් 14 දින පවත්වන මහා මැතිවරණයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්නට අවශ්‍ය පිරිස අපි රජරට පුරවරයෙන් තෝරා පත්කර හරිමු. 58%ක් වූ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න කියා ආරාධනා කරනවා. අපි සියලු දෙනාටම තියෙන්නේ එකම අරමුණයි. ඒ සඳහා පෙළගැසෙමු.

මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා ඔබේ මිනිස්කම නැවත ප්‍රකාශ කරන්න
රජරට විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර

මේසා විශාල ආදරණීය මිනිසුන්ගෙන් පිරි මේ රැලිය දකින විට මට ඇතිවෙන්නේ දරා ගන්න බැරි තරම් සතුටක්. ඔබ සියලු දෙනාම අපේ මව්බිමට ආදරය කරන ගැහැනු සහ මිනිස්සු. ජාතික ජන බලවේගය වටා ඔබ සියලු දෙනා රොක්වී සිටින්නේ ඒ නිසාම තමයි.

මේ රට වේගයෙන් ඛේදජනක ඉරණමකට ඇදී යමින් තිබියෙදී එය වළක්වාගෙන අපේම පංතියේ මිනිහෙක් ජනාධිපති කළේ ඔබේ කතිරෙනුයි. ආදරය, මනුෂ්‍යත්මය නැති සමාජය දියුණු සමාජයක් වෙන්නේ නැහැ. බඩගෝස්තරවාදයට වැටුණු සමාජයක් තුළ කිසිදු යහපත් දේශපාලනයක් අපිට දකින්න බැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ආදරය වගා කරන පක්ෂයයි. මනුෂ්‍යත්මය වගාකරන පක්ෂයයි. ඔබේ කතිරය මේ රටට මොන තරම් බලපෑම් කළ හැකි දෙයක්ද කියලා ඔබට දැන් තේරෙනවා ඇති.

පසුගිය 21වැනිදා ජනාධිපතිවරණයට පෙර මාලිමාවට මොනතරම් මඩ ප්‍රචාරවලින් දමා ගැසුවද? ඒත් මේ රටේ ජනතාව ඒවා පිළිගන්නේ නැහැ. මොනතරම් අවලාද ආවත් අභියෝග ආවත් ඉදිරියට තැබූ පය ආපස්සට නොතබන එකම දේශපාලන ව්‍යාපාරය තමයි මාලිමාව කියන්නේ. මාලිමාව කියන්නේ මේ සමාජය සුවඳවත් කරන දේශපාලන ව්‍යාපාරයක්. ලබන 14 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් ඔබ ජනාධිපතිවරණයේදී පෙන්වූ මිනිස්කම, ආදරය මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා නැවත ප්‍රකාශ කරන මෙන් මා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ ජනාධිපති අනුර සහෝදරයාට තවතවත් ශක්තිය ලබාදීම සඳහා මේ මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් දිනවා පාර්ලිමේන්තුව පුරවන්න ඔබ තීන්දු කර අවසන් බව අපට සහතිකයි.

What's your reaction?

Related Posts

1 of 437

Leave A Reply

Your email address will not be published. Required fields are marked *