රනිල් සහ බැසිල් අතර තීරණාත්මක හමුවක් අදත්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබෙන අතර ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40කට වැඩි සංඛ්‍යාවකගේ සහාය ද හිමිව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය ප්‍රමුඛ පුළුල් සන්ධානයක් සහිත සමගි ජන සන්ධානයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර එම සන්ධානය ලබන 08 වැනිදා නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

එවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුණා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා වී තිබෙනවා.

මීට පෙර ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර අවස්ථා රැසකදී පැවැති සාකච්ඡා අවසන් වුණේ එකඟතාවයකින් තොරවයි.

ඒ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් ගැනීම සඳහා එම පක්ෂයේ විධායක සභාව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ රැස්වීමට නියමිතයි.

හෙට පස්වරු 04ට කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර පාර්ශ්ව කිහිපයකට බෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමිවන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ඔවුන් මෙතෙක් තීරණය කර නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *