ලෝකයේම අවධානය ගත් 1990

1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී තිබේ.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ සේවාව පත්වී ඇති බවය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේය.

එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමග සම්බන්ධවී ඇති බවය.

එමෙන්ම ඇමතුමක් හා සම්බන්ධවී සාමාන්‍ය ලෙස විනාඩි 12ක කාලයක් ඇතුළත ගිලන්වු පුද්ගලයා ආසන්නයේ පිහිටි රෝහලක් වෙත හෝ සත්කාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට සුවසැරිය සමත්වී තිබේ.

ඒ අනුව ලොව ගිලන්රථ සේවාවන් අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය නම්කර ඇති බවද ලෝක බැංකුව වාර්තාව මගින් පෙන්වාදෙයි.

2018 වසරේ විශේෂිත පාර්ලිමේන්තු පනතක් මගින්, නිදහස් පෞද්ගලික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු සුවසැරිය ගිලන් රථ සේවාව වඩාත් කාර්යක්ෂම වූ බවද ලෝක බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.

ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව දැන් පවත්වාගෙන යනු ලබන්නේ ලක් රජය විසිනි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *