විකුණන්න ගිය පිස්තෝලයක් සමග අයෙකු අත්අඩංගුවට

පිස්තෝල වර්ගයේ නවීන ගිනි අවියක් අලෙවි කිරීමට යමින් සිටි පුද්ගලයෙකු එම ගිනි අවිය සමග අද(09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 300,000ක මුදලකට ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පිස්තෝලය අලෙවි කිරීමට සැලසුම් කොට ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු විසින් කුරුණෑගල ප්‍රදේශයේ වෙනත් පුද්ගලයකුට ගිනි අවිය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මාතලේ, කළුදෑවල ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

මෙම සැකකරු රත්තොට, දන්කන්ද, පොල්වත්තාකන්ද, ගම්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු යුද හමුදාවෙන් පලාගිය අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරී කණ්ඩායමක් විසිනුයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරු රත්තොට සිට මාතලේ දක්වා පිස්තෝලය සිය ඉන ප්‍රදේශයේ රඳවා ගෙන බස් රථයක පැමිණ තිබෙනවා.

ඒ අතර මග කළුදෑවල ප්‍රදේශයේදී බස් රථය නතර කොට සිදුකළ පරීක්ෂාවේදී පිස්තෝලය සමග සැකකරු අත්අඩංගුවට ගත්තා.

විශේෂ කාර්ය බළකා නිලධාරිනීන් හමුවේ සැකකරු පවසා ඇත්තේ ඔහු දිය නෑමට ගිය අවස්ථාවක රත්තොට පොල්වත්තාකන්ද ගඟේ තිබී මෙම ආයුධය හමුවූ බවයි.

මාතලේ යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරු පොලිස් පරීක්ෂක විජේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකළ බවයි පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලිසිය විසින් සිදු කරන අතර සැකකරු සමග ගිනි අවිය මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *