විධායක නිලධාරීන් ලෙඩ වීම නිසා රාජ්‍ය ආයතන රැසක වැඩ ඇණහිටී

රජයේ විධායක නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමක් සිදු නොකළහොත් එළඹෙන සතියේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි පවසනවා.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පත්කර ඇති කැබිනට් අනු කාරක සභාව එම ගැටලු පිළිබදව අද සාකච්ඡා කළ අතර, ලබන සතියේ විධායක නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආරාධනා කර ඇති බවයි.

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කළා.

විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප අධ්‍යාපන කාර්යාල සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

මේ හේතුවෙන් රජයේ ආයතනවලට සේවාවන් ලබාගැනීමට පැමිණි ජනතාව පත්වුණේ දැඩි දුෂ්කරතාවකටයි.

අධ්‍යාපන පරිපාලන සේවයේ 2000කට අධික විධායක නිලධාරීන් පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමයේ ලේකම් සම්පත් දේශප්‍රිය පැවසුවේ.

වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වුණා.

මේ අතර, වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත රජයේ විධායක නිලධාරීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පාගමනින් මුදල් අමාත්‍යංශය දක්වා පැමිණ විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් අඛණ්ඩ වර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *