විනිසුරුවරුන් පත් කිරීමේ ප්‍රමාදයට එරෙහිව පෙත්මක්

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළත් මෙරට උත්තරීතර අධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේ ප්‍රමාදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ හිටපු තානාපතිවරයෙකු වන ජනාධිපති නීතීඥ සේනක වල්ගම්පාය විසින්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් නම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් මාස කිහිපයක් තිස්සේ ඇති වීමට හේතු වන පරිදි විනිසුරුවරුන් පත්කිරීම් සිදුකිරීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බවයි පෙතසම්කරු පෙන්වා දී ඇත්තේ.

එමනිසා යුක්තිය පසිඳලීම සඳහා විනිසුරුවරුන්ගේ හිඟයක් ඇති වී තිබෙන බව හා, ජනතාවගේ අධිකරණ බලය දැඩි ලෙස හෑල්ලූවට ලක් වී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවයි ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින් රාජ්‍ය දේපල භාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇති ලිපිය අනුව කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පැෆ්රල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු 29 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටියේ නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින්ට සංවර්ධන වැඩකටයුතු වලට අදාළව රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

පසුගිය 07වනදා අදාළ ලිපිය යොමු කර ඇති අතර මෙම කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බව පෙත්සමේ දැක්වෙනවා.

එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් රැසක්ම පළාත් ප්‍රජා කමිටුවල සාමාජිකයින් වශයෙන් කටයුතු කරන හෙයින් ඔවුන් විසින් රාජ්‍ය සම්පත් භාවිතා කිරීම වැළැක්විය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි පෙත්සම්කරු චෝදනා කළේ.

එසේම මෙමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *