ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට ලකුණු 202ක ඉලක්කයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන 38 වැනි තරගය වන ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 201ක් රැස් කරගැනීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී යාමෙන් වන අතර, ඒ අනුව නෙදර්ලන්තයට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 202ක්.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 46(29)ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 17(20)ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 34(26)ක්ද, චරිත් අසලංක ලකුණු 46(21)ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30(15)ක්ද, නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20(06) ක්ද, රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම, පැතුම් නිස්සංක සහ දසුන් ශානක ලකුණු කිසිවක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායමේ Logan van Beek කඩුලු 02ක්ද, Vivian Kingma, Paul van Meekeren, Aryan Dutt, Tim Pringle එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයෙන් නිල වශයෙන් මේ වනවිට ඉවත්ව ඇති අතර, මෙම තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔවුන් ලෝක කුසලාන සිහිනය හැර දමා නැවත මෙරටට පැමිණිය යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් නේපාලය සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර, අනෙකුත් තරග දෙකම පරාජයට පත්වී එක් ප්‍රසාද ලකුණක් පමණක් හිමිකරගෙන ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවෙනවා.

එමෙන්ම, නෙදර්ලන්තය, ප්‍රසාද ලකුණු 02ක් හිමිකරගෙන එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර, ඔවුන් සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර, තරග දෙකක් පරාජයට පත්වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *