සමගි ජන බලවේගය සහ අප අතර අවබෝධතා ගිවිසුමේ කොන්දේසි ඒ ආකාරයෙන් ඉටුවෙලා නෑ

සමගි ජන බලවේගය සහ අප අතර අවබෝධතා ගිවිසුමේ කොන්දේසි ඒ ආකාරයෙන් ඉටුවෙලා නෑ. ජාතික ලැයිස්තුවේ ගැට‍ළුවක් නෑ. පක්ෂයේ සාමූහික තීන්දුව අනුව මගේ නාම යෝජනාවත් ඉවත් කර ගන්නවා. – එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන

සමගි ජන බලවේගය සමග එක්සත් ජනරජ පෙරමුණ අතර පැවති අවබෝධතා ගිවිසුමේ කොන්දේසි සමගි ජන බලවේගය පාර්ශවයෙන් ඒ ආකාරයට ඉෂ්ට නො වීම හේතුවෙන් තම පක්ෂය මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වීමට ගන්නා ලද තීරණයට එකඟ වෙමින් තමන් විසින් රත්නපුර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා අත්සන් කරන ලද නාම යෝජනාව ඉවත් කර ගැනීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. ගිවිසුම ප්‍රකාර ව තම පක්ෂය වෙත ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුරයක් හිමි වූ බවත්, ගැටලුව වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොව පක්ෂය සඳහා ලැබුණු නාම යෝජනා කෝටාව බවත් හෙතෙම සඳහන් කළේ ය.

අද (11) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු පරණවිතාන මහතා;

“එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය හා එක් ව එක්සත් ජනරජ පෙරමුණ තරග කරන්නට අවබෝධතා ගිවිසුමක් තිබුණා. ඒ සම්බන්ධයෙන් දැනට මතු වෙලා තිබෙන අර්බුදය සම්බන්ධයෙන් රටේ ජනතාවටත් ඒ වගේ ම විශේෂයෙන්ම මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් කිසියම් පණිවිඩයක් ලබා දීමටයි. පසුගිය ජනාධිපතිවරණයේ දී අපේ පක්ෂ දෙක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපතිවරණයේ සහයෝගය ලබා දීම සඳහා අපි අවබෝධතා ගිවිසුමක් ප්‍රකාශයට පත් කළා. ඒ අවබෝධතා ගිවිසුම පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළෙත් මා විසින් ම යි. ඒ අනුව අපි දෙගොල්ලෝ එකඟ වුනා ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්ටත් ඒ ජනාධිපතිවරණයේ දී මොන ප්‍රතිඵලය ආවත් ඊළඟ මහ මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණේ දිස්ත්‍රික් එකොළහකට අපේක්ෂකයෝ එකොළහක් සඳහා නාම යෝජනා ලබා දීමටත් දෙපාර්ශවය එකඟ වුනා. නමුත් අපට පෙනී ගියා ඒ අවබෝධතා ගිවිසුමේ කොන්දේසි ඒ ආකාරයට ඉෂ්ට වෙලා නැති බව. ඇත්තෙන්ම මම රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකත්වය මට ලැබිලා තිබුණා. මම නාම යෝජනාත් අත්සන් කළා. මම රත්නපුරේ වැඩ කටයුතු කරමින් ඉඳලා, ඊයේ මගේ වත්කම් ප්‍රකාශය භාර දෙන්න එන කොට, මට දැන ගන්න ලැබුණා, අපේ පක්ෂයට ලැබිය යුතු ඒ මන්ත්‍රී නාම යෝජනා කෝටාව ඒ ආකාරයෙන් ම ලැබිලා නැහැ. දෙක, තුනක් ලැබිලා තිබුණා. නමුත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා. අපේ පක්ෂය තීන්දු කරලා තිබුණා. ඉතින් අපේ පක්ෂයේ මතය වෙලා තිබෙන්නේ එසේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරලා තිබෙන නිසා අපි සමස්තයක් හැටියට මේ මැතිවරණ ක්‍රියාවලියෙන් අපි අයින් විය යුතු බව පක්ෂය තීන්දු කරලා ඒ බව අපේ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා මාධ්‍යයටත් දැනුම් දුන්නා.

එසේ දැනුම් දීලා තිබෙද්දීත් මට විශේෂ පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රත්නපුරේ ජනතාවට. පසුගිය කාලයේ මං මන්ත්‍රීවරයෙක් ව නො සිටිය කාලේ විශාල මා සමඟ එකට ආදරයෙන් බැඳිලා වැඩ කරමින් හිටියා. ඇත්තෙන්ම මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඇතුළත ඊයේ වෙනකම් මැතිවරණ ව්‍යාපාරය ඇතුළතත් අති විශාල ජනතාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන අටේ ම මාත් සමඟමත් ඒ වගේ ම අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායමත් සමඟමත් සමගියෙන් බෙදිලා ඒ මැතිවරණ ව්‍යාපාරය ඉතා හොඳින් කර ගෙන යන්න අපිත් එක්ක දායක වුනා. ඉතින් මං මේ වෙලාවේ ඉතා ම කනගාටුවෙන් නමුත් රත්නපුර දිස්ත්‍රික් රටේ ජනතාවට මට කියන්න තියෙනවා අපේ පක්ෂය ගත්ත තීන්දුවත් එක්ක මම සාමූහික ව බැඳී සිටිනවා. ඒ තීන්දුවට අනුව මගේ නාම යෝජනාව මම ඉවත් කර ගන්නවා කියලා. මම ඒ බව සමගි ජන බලවේගයේ අපේ දිස්ත්‍රික් කළමනාකාර මංජුල විජේරත්න මහතාට මම දැනුම් දුන්නා. ඒ අනුව මම හිතන්නේ මේ වන විට මගේ නම ඉවත් කරලා වෙන නමක් දාලා තිබෙනවා. කොහොම වුනත් ඒ රත්නපුර නායකයෝ මොන තීන්දු ගත්තත් ඉහළ මට්ටමේ දී, මම දන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායම ඉතා ම හොඳ කණ්ඩායමක්. ඒ අය ඉතා ම සමගියෙන් මැතිවරණ ව්‍යාපාරයේ කටයුතුවල නියැලිලා සිටිනවා. ඒ වගේ ම තමයි ජනාධිපතිවරණ පරාජයක් තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා ම අඩුවෙන් පරාජය වුණේ. සමහර ආසන, විශේෂයෙන්ම අපි වැඩ කරපු ආසන, පැල්මඩුල්ල, නිවිතිගල, රක්වාන, බලංගොඩ, කලවානේ ආදී ප්‍රදේශ ඉහළ ජයග්‍රහණ සමගි ජන බලවේගයට ලැබිලා තිබුණා. ඒ ජනතාවගේ තව වෙනකම් වෙනස් වෙලා නෑ.
එම නිසා මම කියන්නේ මගේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉහළ මට්ටමේ මොන තීන්දු ගත්තත් ඒ සමගි ජන බලවේගයේ නියෝජන කණ්ඩායමේ ඉන්නවා. මම නො හිටියත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු ඉතාමත් ම හොඳ මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ ඉන්නවා. ඒ සියලු දෙනාට ම තමුන්නාන්සේලාගේ සහයෝගය උපරිම ආකාරයට ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා රත්නපුරේ ජනතාවගෙන්. මගේ සහයෝගය පුද්ගලික මට්ටමින් ඒ අයට ලැබෙනවයි කියන එක මං මේ වෙලාවේ සඳහන් කරනවා. දේශපාලනයේ ඉතින් මේ වගේ දේවල් අපිට අලුත් දේවල් නෙවෙයි. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. පක්ෂයක් හැටියට අපි සාමූහික තීන්දුව අනුව වැඩ කර ගෙන යනවා. ඉතින් මගේ අපේක්ෂකත්වය මම මේවා මේ වෙලාවේ අවසන් වුණත් මගේ දේශපාලන කටයුතු මෙතෙකින් අවසන් කරනවා.

ප්‍රශ්නය:
අවබෝධතා ගිවිසුමේ කොහොමද තිබුණේ, කොච්චරක් දෙනවා කියලද, කොහොමද අවබෝධතා ගිවිසුමේ තිබුණේ?

පිළිතුර:
සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේ දී අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට උදව් කරනවා. මහ මැතිවරණයේ දී දිස්ත්‍රික් 18 ක් සඳහා ලබා දෙනවා. නමුත් පස්සේ ඒක 11 දක්වා අඩු කරන්න අපි දෙපාර්ශවය ම එකඟ වුනා. ඊට පස්සේ ඒ ක්‍රමවේදය ම ඉස්සරහට එන පළාත් පාලන ඡන්දයේත් අනුගමනය කරනවා. ඔය වගන්ති ටික තමයි 11 දෙනෙක්ට අවස්ථාව. එතකොට 11 දෙනෙකුට අවස්ථාව ලබා දීම තමයි අපේ එකඟතාව තිබුණේ. අවම එකඟතාව. නමුත් ඊයේ හවස් වෙනකොට අවස්ථාව ලැබිලා තිබුණේ තුන්දෙනෙකුට පමණයි.

ප්‍රශ්නය:
පාඨලී චම්පික මහත්තයාට කොහොමද තිබුණේ ජාතික ලැයිස්තුවේ? ඒකෙ වෙනසක් වුනා ද? පාඨලී චම්පික මහත්මයාට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දෙන්නෙ නැතුව මේ ඉල්ලීම් කරන්න කියලා අවස්ථා ඒ කියන්නේ ඔහුට මහරගමින් ඉල්ලන්න කිව්ව හින්දා තමයි මේක ගැටලුවක් ඇති වුණේ කියලා. ඒකෙත් තියෙනවා. ඒක ගිවිසුමේ කොන්දේසියක් නෙමෙයි ද?

පිළිතුර:
එතුමාගේ නම ජාතික ලැයිස්තුවට දාලා තිබුණා. ඒකේ වෙනසක් වුණේ නෑ. අපි අතර අවබෝධතා ගිවිසුමේ කොන්දේසියක් තිබුණේ අපිට ජාතික ලැයිස්තු මන්ත්‍රී එකක් හම්බ වෙනවා ආරම්භයේ දී ම. අපෙන් පත් වන මන්ත්‍රීවරු සංඛ්‍යාව 5 දෙනෙකුට වැඩි වෙන කොට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙකක් දෙනවා කියලා. ඒක තමයි අපේ අවබෝධතා ගිවිසුම. එතකොට ඒ ජාතික ලැයිස්තුව ඉන්නේ කවුද? තරග කරන්නේ කවුද කියන එක තීන්දු කරන්නේ එක්සත් ජනපද පෙරමුණ. ඒක සමගි ජන බලවේගයට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න බැහැ. ප්‍රශ්නයක් මතු වුණේ ඒ සම්බන්ධයෙන් නෙමෙයි. චම්පික රණවක මැතිතුමා ඉල්ලනවා ද නැද්ද කියන කාරණය උඩ නෙවෙයි ආවේ. සහ ඒක තීරණය කිරීමේ අයිතිය එතනට ඇත්තෙත් නැහැ. අපට ලබා දීලා තිබෙන ඒ කෝටාව අඩු වීම තමයි ප්‍රශ්නය.

ප්‍රශ්නය:
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්නෙ ඔබතුමන්ලා වැඩ කළේ. මොකක්ද වුණේ ඇත්තටම. එතුමාට එහෙම ඒ එතුමාට මොකක් හරි බලපෑමක්? ඔබතුමන්ලාට හිතෙන විදිහට මොකක්ද වෙන්න ඇත්තෙ මෙතන?

පිළිතුර:
ඒක කියන්න දන්නෙ නෑ. ඇත්තටම ඒ අපි දිස්ත්‍රික්කවල වැඩ කරමින් හිටියේ. ඒ සාකච්ඡා කර ගෙන හිටියේ අපේ නායකයෝ දෙන්නා. ඉතින් මට ආරංචියේ හැටියට ඒ අපෙන් ඉදිරිපත් කරපු ඒ අවම ඉල්ලීම ලබා දෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාර්ශවය අසමත් වෙලා තිබෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය:
ඔය ඔබතුමන්ලා කියන ප්‍රදේශයේ යම්කිසි ප්‍රබලයන් ඔබතුමන්ලාගේ කට්ටිය එනවට බය හෝ එහෙම මොකක් හරි තියෙනවද? සාමාන්‍යයෙන් ඔතන බල අරගලයක්නේ තියෙන්නේ. දැන් සමහරක් කට්ටිය ඒකෙ තාත්තා ජාතික ලැයිස්තුවෙන් එනවා. දුව හෝ පුතා සාමාන්‍ය විදිහට තරග කරනවා?

පිළිතුර:
මම තරග කරපු රත්නපුර දිස්ත්‍රික්කයේ නම් මම එනවා ට සමගි ජන බලවේගයේ අය එහෙම බය වෙලා හිටියේ නැහැ. ඒ සියලු දෙනා ම මට ආශීර්වාද කළා. ඔබතුමා ඉන්න ඕන කෙනෙක් කියලා තමයි මට කිව්වේ.

ප්‍රශ්නය:
ඔබ තුමාට අවස්ථාව හම්බවුනා නේ?

පිළිතුර:
මට අවස්ථාවක් හම්බ උන. නාම යෝජනා අත්සන් කළා. නමුත් අපේ පක්ෂය තීන්දුවක් ගත්තා. ඔය අවබෝධතා ගිවිසුම සමස්තයක් හැටියට උල්ලංඝනය වෙලා තියෙන නිසා අපි මැතිවරණයෙන් අයින් වෙන්න. ඉතින් ඒ පක්ෂය ගන්න සමස්ත තීන්දුවත් එක්ක මට ඉන්න වෙනවා. මගේ දේශපාලනය එහෙමයි මම හුරුපුරුදු වෙලා තියෙන්නේ. හැම වෙලාවෙ ම සාමූහික තීන්දුත් එක්ක වැඩ කරන්නේ.

ප්‍රශ්නය:
ඔබතුමන්ලට අවස්ථාව ලැබුණේ නැත්තේ යම් තීරණයක් නිසාද? කණ්ඩායමක සාමූහික තීරණයක් නිසා ද?

පිළිතුර:
අපි සමගි ජන බලවේගය දිහා බැලුවේ පුද්ගලයෝ හැටියට නෙවෙයි, තවත් දේශපාලන බලවේගයක් හැටියට. අපි එක්සත් ජනරජ පෙරමුණත් අපි දකින්නේ අපි කුඩා වුනත් දේශපාලන බලවේගයක් හැටියට. එතකොට අපිට අදාළ නැහැ ඒ තීන්දුව ගන්නේ පුද්ගලයෙක් ද? පක්ෂයක් ද, කණ්ඩායමක් ද කියලා. නමුත් අවසාන ප්‍රතිඵලය වෙලා තිබෙන්නේ අපිට ලැබිලා තිබෙන ඒ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය වීම. ඒක අපේ පක්ෂයට එකග වෙන්න බෑ කියන එක තමයි අපේ පක්ෂය තීන්දු කරලා තියෙන්නේ.

ප්‍රශ්නය:
දැන් සමහරු ඔය සමහර කාරණා වල දී කියනවා කෙළෙහි ගුණ දන්නේ නෑ කියන කතාව?

පිළිතුර:
මම එච්චර දේශපාලන කාව්‍යෝක්ති මේ වෙලාවේ භාවිතා කරන්න සූදානම් වන්නේ නෑ. නමුත් මෙතන ගිවිසුමක් උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ ගිවිසුම උල්ලංඝනය වුණේ පදනම මොකක්ද කියන එක ඒක මං හිතන්නේ ඉතිහාසය විසින් තීන්දු කරයි. කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා

What's your reaction?

Related Posts

1 of 359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *