සමහරු ජනතාව ලාබෙට රවට්ටන්න හිතුවාට දැන් ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ

රනිල් ජනාධිපති වෙනකොට පාර්ලිමේන්තුවේ ඔහුට මන්ත්‍රීවරු 134 යි. ඊයේ 92 යි. අද අනූවයි. ජනාධිපතිවරණය අවසන් වෙනකොට රනිල්ට රනිලුත් නෑ. එදාට මේ රටේ නියත ජනපති අනුර කුමාර.

මාලිමාවේ අපි පළමු වතාවට තමයි කැබිතිගොල්ලෑවේ රැලියක් කරන්නේ. ඔබ මීට පෙර විවිධ පක්ෂවල රැස්වීම්වලට ගිහින් ඇති. එදා ඔබේ ඡන්ද අරගෙන බලයට පත්වුණ මෛත්‍රීපාල සේනානායක පරම්පරාවේ අය අද කොහෙද? සේමසිංහලා අද කොහෙද? මහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවා. එයාලා හිතන්න ඇති එයාලත් එක්ක ජනතාවත් යයි කියලා. නෑ. එයාලා එහෙට යනකොට ජනතාව මෙහෙට ඇවිත්. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න සහය දක්වනවා. හරි පාර පෙන්වපු මාලිමාව එක්ක හරි පාරේ යන්න පටන් අරන්.

අද මේ වේදිකාවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, කලාකරුවන්, කිසිවෙක් තමන්ට සත පහක දෙයක් බලාපොරොත්තු නොවී රට හදන්න පෙරමුණ ගෙන තිබෙනවා. මේක දැකලා කලබල වෙච්ච කට්ටිය දැන් අලුත් අලුත් සන්ධාන හදනවා. ඒකට හිටපු කට්ටිය එකට වේදිකාවට නැගලා අපේ සහය සජිත්ට කියනවා. නැත්නම් අපේ සහය රනිල්ට කියනවා. මහබැංකුව කඩපු එකා ළඟට මාල කඩපු එකා යනවා. හොරා ළඟට යන්නෙ හොරා මිස වෙන කවුද? කුණු ගොඩට කුණු එකතු වෙනකොට හොඳ ටික අපි ගාවට ඇවිත්.

ලොකු ලොකු සංදර්ශන තියලා ජනතාව ලාබෙට රවට්ටන්න හිතුවාට දැන් ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා. ඒ නිසා සැප්තැම්බර් 21 වෙනිදාට නියත ජනපති අනුර කුමාර සහෝදරයා බව මේ කැබිතිගොල්ලෑව අම්මා තාත්තා සහෝදර සහෝදරියන් අද තහවුරු කර අවසන්.

ගොවි අම්මා තාත්තාගේ ප්‍රශ්නවලට විසඳුමක් තියෙන්නෙ මාලිමාවට විතරයි
ජාතික ජන බලවේගයේ ජාතික විදායක සභික, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය උප සභාපති සුසන්ත නවරත්න

මැදවච්චිය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ ආසනයක්. නමුත් අද මැදවච්චිය ජනතාව පෙළගැසී සිටින්නේ මාලිමාව වටායි. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්නයි.

ගොවි ජනතාවට වතුර ටික දෙන්න මේ පාලකයෝ සමත් වෙලා නෑ. මොරගහකන්ද පෙන්වා පොරොන්දු දුන්නා විතරයි. වැව් දාහතරක් තිබෙනවා. ඒවට යටින් වතුර ගෙනියනවා. මොන පාලකයොද මේ සැලසුම් හදන්නේ? මේ පාලකයින්ට ගොවි ජනතාවට පහසුකම් සලසන්න සැලසුම් නෑ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් හමුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසය බවට පදවිය පත්වුණත් කැබිතිගොල්ලෑව තිබුණේ ඊට වඩා ගොඩක් පහළින්. ඒකට හේතු වුණේ කැබිතිගොල්ලෑව කොට්ඨාශයේ ඉතා හොඳ ජල උල්පත් දහ අටක් තිබීමයි. කැබිතිගොල්ලෑව කියන්නේ සම්පත්වලින් පිරුණ ප්‍රදේශයක්. රට වටා රූරා හැලෙන ගංගා රැසක් තිබුණත් මේ රටේ ජනතාවට පිරිසිදු පානීය ජලය සපයන්න ගොවි ජනතාවට අවශ්‍ය ජලය ටික සපයන්න වැඩපිළිවෙලක් මේ පාලකයින්ට නෑ.

කැබිතිගොල්ලෑව ටිකක් එහා පැත්තෙන් මිනිරන් පතලක් තියෙනවා. අනිත් පැත්තෙන් පුල්මුඩේ ඛනිජ වැලි නිධිය තියෙනවා. මේ සම්පත් භාවිතා කරලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රස්සා දෙන්න වූ සැලසුමක් මේ පාලකයින්ට තිබුණෙ නෑ. ඒ නිසා අද මේ රටේ තරුණ තරුණයෝ වගේම මේ ප්‍රදේශයේ තරුණ තරුණියොත් රස්සා හොයාගෙන විදෙස්ගත වෙනවා.
ඒ නිසා මේ රට හදන්න නිසි සැලසුමක් තියෙන, මේ ගොවි අම්මා තාත්තගේ ප්‍රශ්නවලට උත්තරයක් තියෙන, ඒකට වැඩපිළිවෙලක් තියෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න පෙරමුණ ගන්නා ලෙස අපි ඔබ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා.

පපුවේ තෙතමනයක් ඇති නායකයෙක් බලයට ගෙන ඒම සඳහා පෙළගැසෙන්න
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රජරට විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ හිටපු පීඨාධිපති පී.ඩී.එන්.කේ. පලිහේන

2022 අරගලයට සහභාගී ජනතාව බලාපොරොත්තු වුණේ තමන් පීඩාවට පත් කළ නායකයන් පලවා හැර තමන් ගැන හිතන, මේ ක්‍රමය වෙනස් කරන නායකයෙක් බලයට පත්වෙයි කියලා. නමුත් සිද්ධ වුණේ ඔවුන්ගේම කෙනෙක් වූ රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ සිදුරකින් රිංගා බලයට ඇවිත් පරණ ටොපියම අලුත් කොළයක දවටලා අපිට දීපු එක විතරයි. ඔහු ආපහු ඇවිත් කියනවා මං රටේ ප්‍රශ්න විසඳුවා, නැවතත් අවුරුදු පහකට මටම බලය දෙන්න කියලා.

මේ රනිල් වික්‍රමසිංහල බලයට ඇවිත් මොනවද කළේ? අවුරුදු පහක් බලය ඉන්න ආණ්ඩුවක් වත් කරන්නෙ නැති තරමට මේ අවුරුදු දෙක ඇතුලේ ඔහු අණ පනත් හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් සම්මත කරගත්තා. අර්බුදේ තිබුණේ මේ අණපනත් සම්මත නොවීම නිසාද? නැහැ. ඔහු ඒවා සම්මත කරගෙන කළේ මේ තක්කඩි පාලනය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගැනීමයි. මොහු බලයට ඇවිත් රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කළා මිසක් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළේ නෑ. මෙවැනි පාලකයෙක්ගෙන් තවදුරටත් ජනතාවට බලාපොරොත්තු විය හැකි කුමක්ද? තීරණය ගත යුත්තේ ඔබයි. රටට වැඩක් ඇති ජනතාව ගැන හිතන පපුවේ තෙතමනයක් ඇති නායකයෙක් බලයට ගෙන ඒම සඳහා පෙළගැසෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මේක ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මැතිවරණයක්
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අංශයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානායක

මම ඉපදුනේ පදවියේ. මම හැදුනේ වැඩුණෙ පදවියේ. මම ඉස්කෝලෙ ගියේ පදවියෙ. ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ශල්‍ය වෛද්‍ය විද්‍යාව හදාරලා ලෝකෙ තියෙන ලොකුම විශ්ව විද්‍යාල වුණ ඔක්ස්ෆර්ඩ් යන්නත් මට අවස්ථාව හිමි වුණා. මටත් ඔක්ස්ෆර්ඩවල නවතින්න තිබුණා. නමුත් මගේ නෝනයි දරුවයි එහේ නවතිද්දී මං ආපහු මෙහෙ ආවා. එහෙම ආවේ රටේ ජනතාව දුක් විඳිද්දී රජරට අම්මා තාත්තා දුක් විඳිනකොට අපි හැදුණු වැඩෙන පුණ්‍ය භූමිය කඩාවැටෙනකොට අපිට එංගලන්තෙට වෙලා ඉන්න බැරි නිසා.

මම නොමිලේ වෛද්‍යා සායනයක් කරන බව ඔබ දන්නවද ඒ වෛද්‍ය සායනයට එන සමහර රෝගීන්ට අපි වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහලකට යන්න ලියුමක් දුන්නම රෝහලට යන්න සල්ලි නෑ. ඒ තරමටම ඔවුන් අසරණයි. මේ රට වෙනස් කරන්න ඕනෙ නැද්ද ?

අපිත් කාලයක් මේ තට්ටු මාරු දේශපාලනයට රැවටිලා හිටියා. මගේ තාත්තා ගුරුවරයෙක්. එ්ත් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් පදවිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක විදියට කටයුතු කළා. මේච්චර කාලයක් අපෙන් ඡන්දය අරන් බලයට පත්වුණ පාලකයෝ මොනවද රටට කළේ. අපි ඉස්කෝලෙ යන කාලේ තිබුණ පරිසරයයි පහසුකම්ම තමයි අදත් ඒ විදිහටම තියෙන්නේ. මොකක්ද සිදුවෙලා තියෙන දියුණුව? ට්‍රිලියන තුනක් ණය අරගෙන පාරවල් හදලා තිබුණත් ට්‍රිලියන 2කට වෙච්ච දෙයක් නෑ. එහෙම තමයි මේ රටේ සංවර්ධනය සිද්ධ වෙලා තියෙන්නේ.

ඒ නිසා මෙවර තිබෙන්නේ ජනාධිපතිවරණයක් නෙවෙයි, මේ රටේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ මැතිවරණයක්. ඒ වෙනුවෙන් අපේ අනුර දිසානායක සහෝදරයා ජනපති කරන්නට පෙරමුණ ගන්න.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *