සුමනා නෙල්ලම්පිටිය අද දින අභාවප්‍රාප්ත වේ

සේවා සම්මානිත ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අද දින අභාවප්‍රාප්ත වූ අතර, මියැදෙන විට ඇය 80 වැනි වියෙහි පසුවූවාය.

වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වනුයේ සහය නිවේදිකාවක් ලෙස ය. වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම හඬ අවධි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වූවාය.

ඇය නිවේදන කටයුතු කළ “පිබිදෙන ගායක පරපුර”, “ෆොරෑන්ස් වාසනා හත”, “ඕවල්ටීන් පැනපොඩි”, සිනමා ප්‍රවර්ධන වැඩසටහන් සහ “රේඩියෝ සඟරාව” එකළ වඩාත් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් අතර වූ බව රහසක් නොවේ. ප්‍රවීණ කලාවේදිනී දයා නෙල්ලම්පිටිය ඇයගේ නැන්දනිය යි. නිවේදිකාවක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් ලෙස ද තම දක්ෂතා පෙන්වූ ඇය ජාතික ගුවන්විදුලියේ දක්ෂ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් ද වූවාය.

එසේම සුමනා නෙල්ලම්පිටිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ය. එකළ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත් , ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක් වූ ඇය මෑතකදී ලක්හඬ ගුවන්විදුලියෙහි ඉදිරිපත් කළ “හෙවනට එන්න ” වැඩසටහනින් ද රසික සිත් සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නට ඇය යළිත් සමත් වූවාය.

ලාංකේය රූපවාහිනී ඉතිහාසයේ පළමු ස්ථීර වැඩසටහන් නිෂ්පාදිකාව ලෙසින් ද සම්භාවනාවට පාත්‍ර වන ඇය හඬින් මෙන්ම රුවින් ද සැම සිත් පුබුදුවාලන ප්‍රසන්න සිනහවකින් සැමවිට සැරසෙන්නට අමතක නොකළ සුන්දර චරිතයකි. සුමනා අක්කා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “උම් අල් ක්වේන්” ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන්විදුලි නාලිකාවේ ශ්‍රී ලාංකීය නිවේදිකාව ලෙසින් ද පුරා වසර පහක් තිස්සේ කළ මෙහෙවර ප්‍රශංසා කටයුතු මෙන්ම වාර්තා සහගත ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *