හරක්කටා පහසුකම් ඉල්ලයි

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයාබලා අප්‍රේල් මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නීතිපතිවරයාට නියෝග කළා.

‘හරක්කටා’ නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මෙම නියෝගය ලබා දුන්නා.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන තම සේවා දායකයා විසින් පහසුකම් කීපයක් ඉල්ලා සිටින බව සඳහන් කළා.

ඒ අනුව නීතිඥවරු හමුවී උපදෙස් ලබාදීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා වැඩි කරන ලෙසත්, විත්තිකරු රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කරන මෙන් විත්තිකරු ඉල්ලා සිටින බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත්, තම දරුවා සමඟ දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඊට අමතරව විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන පහසුකම් අතුරින් ලබාදිය හැකි ඒවා කවරේ දැයි කරුණු පරීක්ෂා කර බලා
අප්‍රේල් මස 08 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් රජයේ නීතිඥ සජිත් බණ්ඩාරට නියෝග කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *