හිටපු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති පිස්තෝල කඩිනමින් ආපසු ලබාදෙන ලෙසට නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව නැවත ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙන ලෙසට නියෝග කර ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගිනි අවි ලැබුණු හිටපු මන්ත්‍රීවරුන්ට පිස්තෝල භාර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු බලධාරීන් වෙනම ලිපි යවා ඇති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය.

පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 100කට අධික පිරිසක් පුද්ගලික ආරක්ෂාව සඳහා පිස්තෝල ලබාගෙන ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මෙම අලුත්ම වර්ධනය සිදුව ඇත්තේ හිටපු මන්ත්‍රීවරුන්ට තම පුද්ගලික ආරක්‍ෂාව සඳහා අවම වශයෙන් ගිනි අවි දෙකක් තබා ගැනීමට පසුගිය රජය විසින් ගත් තීරණයකට අනුව ය.

ජනාධිපතිවරණයට පෙර අගෝස්තු මාසයේ මාධ්‍ය අමතමින් එවකට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ රට තුළ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙකක් ළඟ තබා ගැනීමට අවසර දීමේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *