”ළමා අපචාර, කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා”

ළමා අපචාර, කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා සේම ඒවා ක්‍රියාත්මක වියයුතු බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දිවුලපිටිය නගරයේ දී (24) පැවැති ජනහමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ “අද සමාජය මුහුණපාලා තිබෙන ගැටළු බලන්න. අද ළමා අපචාර දෙස බැලුවාම, මිනී මැරුම් දෙස බැලුවිට දැවැන්ත බිඳවැටීමක් අපේ සමාජයේ තිබෙනවා. ඒ බිඳවැටුණු සමාජය ගොඩනැඟීමේ වගකීම ආණ්ඩුවකට තිබෙනවා. ඒ නිසා අපේ සංස්කෘතියට, ආගමට ගරු කරන සමාජයක් අපි ගොඩනඟන්න ඕන. දරුවා පන්සලෙන්, පල්ලියෙන් ඈත් කළා කියා, ආගම දහම විශ්වාස නොකරන දේශපාලන ප්‍රතිපත්ති රටේ ස්ථාපනය කළා කියා මේ රටේ සමාජය ගොඩනැගෙන්නේ නැහැ. ළමා අපචාර, කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේම ඒවා ක්‍රියාත්මක වියයුතු වෙනවා. ඒ නිසා සමාජය ගොඩනඟන්න මේවා වැදගත් වෙනවා. සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනඟන්න අවශ්‍ය වෙනවා. එක් පැත්තකින් දෙමාපියන් තමන්ගේ ජීවිත කාලය තුළ හොද ආදායම් මාර්ගයක් උත්පාදනය කොට සතුටින් ජීවත් වන්නයි බලාපොරොත්තු වෙන්නේ. අම්මා, තාත්තාගේ බලාපොරාත්තුව දරුවාට හොදට උගන්වන්නයි. අධ්‍යාපනයට දරුවාගේ දැනුමට හා වෘත්තියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැතිනම් දුක්විඳිනවා පමණක් නොව දරුවා අපේක්ෂා කරන ආදායම් මාර්ගවලට යන්න නොහැකි වෙනවා. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ගමේ ව්‍යාවසායකයා ආරක්ෂා කරනවා. අද බොහෝ අය ව්‍යවසායකයන් ගැන කතා කරනවා. මොකක් ද වැඩපිළිවෙල. මේ රටේ ග්‍රාමීය බැංකුව, සමූපකාර බැංකුව ශක්තිමත් කළයුතු වෙනවා. ඒ ග්‍රාමීය බැංකුව හරහා ව්‍යවසායකයන්ට අවශ්‍ය ආයෝජන ලබාදෙන්න කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. ගම තුළ අලුතින් රැකියා උත්පාදනය කරනවා පමණක් නොවෙයි ගම තුළ අලුත් ව්‍යවසායකයන් බිහි වෙනවා. දේශපාලනික වශයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පරම්පරාවක් අපේ ගම්මාන තුළ බිහිවෙයි කියා විශ්වාස කරනවා. අපි දේශපාලනික වශයෙන් තීන්දු ගන්නවා “යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *