132කට වන්දි ගෙවන්නැයි නීති කැඩූ රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට නියෝග

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) තීරණය කළා.

ඒ අනුව, අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.

රජයේ බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත්, ඒ හරහා රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට මග පෑදෙන බවත් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛණ සහකාර සංගමයේ ලේකම් ඩී.එම්.එස්. දිසානායක ඇතුළු ලේඛණ සහකාරවරු 132ක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරුන් මේ බව අවධාරණය කළා.

පෙත්සම්කරුවන් කියා සිටියේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර තුන්වන ශ්‍රේණියට තමන් 2005 වසරේ ජූලි මස 11 වනදා පත්වීම් ලැබූ බවයි.

ඉන් අනතුරුව තමන්ව ලේඛන සහකාර දෙවන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ විභාගයක් 2013 වසරේ පෙබරවාරි මස දෙවන දා පැවැත්වීමට දින නියම කර තිබූ බවත් ඉදිරිපත් වූ නිර්නාමික ලිපියක් පදනම් කරගෙන අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබූ බවත් පෙත්සමේ දැක්වෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නිර්ණාමික ලිපියක අන්තර්ගත තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයක් නොපවත්වා අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *