15 වැනි දා රජයේ නිවාඩු දිනයක් කිරීමට අවධානය

සිංහල – දෙමළ අලු‍ත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අමතර බස් රථ ගමන් වාර 700ක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ගම්බිම් බලා යාමට මෙන්ම යළි පැමිණීමටත් මෙම බස්රථ ගමන් වාර ක්‍රියාත්මකයි.

මේ අතර උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු අයුරින් මෙන්ම වැඩි මිලට ආහාර අලෙවි කරන වෙළෙඳසැල්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද ආරම්භ වී තිබෙනවා.

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් මේ දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට දෙස් විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා.

මේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ආහාර අලෙවි කරන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි පළමු අදියර යටතේ කොටුව දුම්රියපොළ අවට ඇති ආපන ශාලා , භෝජනාගාර පරීක්ෂාවට ලක් කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 6ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්වුණා.

එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමට කටයුතු කෙරුණු අතර කල් ඉකුත් වූ සහ කෑමට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙඳසැල්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

උත්සව සමයේදී ආනයනික චොක්ලට් ඇතුළු රසකැවිලි වර්ග මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

කල් ඉකුත්වීමට ආසන්න රසකැවිලි වර්ගවල දින වෙනස් කර විකිණීමට උත්සාහ කළ පිටකොටුවේ වෙළෙඳසැල් කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර කටයුතු කළා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 අංකයට ලද පැමිණිල්ලක් මත පාලන මිලට වඩා වැඩි මිලට කිරී සම්බා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලා නීතිමය කටයුතු සිදු කර තිබෙනවා.

කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260ක පාලන මිලක් රජය පනවා ඇති නමුත් මෙම වෙළෙඳසැල් කීරි සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කර ඇත්තේ රුපියල් 350කටයි.

මේ අතර උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා 17 වනදා දක්වා විශේෂ දුරගමන් සේවා බස් රථ ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම ගම්බිම්බලා ගොස් නැවත නිවෙස් කරා පැමිණෙන මගීන් සඳහා අප්‍රෙල් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ද විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලිසියේ මැදිහත්වීමෙන් විශේෂ බස් රථ පරීක්ෂාවක් කොළඹ බැස්ටියන් මාවතේදී සිදු කෙරුණා. පැය 24 පුරා ක්‍රියාත්මක ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ 1955 අංකය අමතා බස් රථ සේවා පිළිබඳ විමසීම් සහ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර රාජ්‍ය පරිපාලන ස්වේදශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ලේකම් ප්‍රදීප් යසරත්න විසින් සිංහල හා හින්දු අලු‍ත් අවුරුදු නිවාඩුවට සමගාමීව දීර්ඝ නිවාඩුවක් යෙදීම හේතුවෙන්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු‍ රාජ්‍ය නිලධාරීන්ට එම ආයතනවල අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

එම කාල සීමාව තුලදී අපදා හා හදිසි අවශ්‍ය කාරණා සම්බන්ධයෙන්ද කටයුතු කරන ලෙසයි අවධාරණය කර ඇත්තේ. රජයේ සංවර්ධන කටයුතු වලට අදාලව ව්‍යාපෘති සහ වැඩසටහන් පවත්වා ගෙන යාමටත් සිංහල හා හින්දු අලු‍ත් අවුරුදු සැමරීම සදහා සංවිධානය කෙරෙන්නා වූ වැඩසටහන්වලටද අවශ්‍ය සහයෝගය හා සහභාගීත්වය ලබා දීමට කටයුතු කරන ලෙසයි උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර එළඹෙන 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙසට පත්කරන ලෙස රාජ්‍ය නිළධාරීන් සිදුකළ ඉල්ලීම පිලිබද මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *